Boeing Starliner කැප්සියුලය යොදාගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් වූ ප්‍රථම නියමු මෙහෙයුමේ කාල සීමාව දිගු කිරීමට සිදු වන බව NASA ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ Starliner හා සම්බන්ධ මෙතෙක් නියමාකාරයෙන් හානි තක්සේරුවක් කිරීමට හැකි නො වූ දෝෂ සහගත තත්ත්වයන් කිහිපයක් මතු වීම හේතුවෙන්. පසු ගිය ජූනි 05 වැනි දා දියත් වූ මෙහෙයුම දින 10ක කාලයකින් අවසන් කර යළිත් Starliner කැප්සියුලයේ නැඟී අභ්‍යවකාශගාමීන් පොළොවට ගෙන්වා ගැනීම NASA සහ Boeing මූලික සැලැස්ම වී තිබුණා.
ජූනි 06 වැනි දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ ඈඳීමට යාමේ දී (docking) Starliner කැප්සියුලයේ හීලියම් කාන්දු වීමක් සහ තෙරපුම්කාරක (thrusters) හා සම්බන්ධ දෝෂයක් පවතින බව පෙනී ගියා. අභ්‍යවකාශයේ දී සිදු කළ Starliner තෙරපුම්කාරකවල දෝෂ පරික්ෂාවකින් පසු NASA සහ Boeing සමාගම තීරණය කර තිබුණේ තත්ත්වය නිවැරැදි ව වටහා ගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.
NASA වාණිජ්‍ය නියමු වැඩසටහන් කළමනාකරු වන Steve Stich සඳහන් කර ඇති පරිදි ලබන ජූලි 02 වැනි දා නිව් මෙක්සිකෝවේ වයිට් සෑන්ඩ්ස්හි පිහිටි පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී පියාසැරිය අතරතුර කැප්සියුලයේ තෙරපුම්කාරක ක්‍රියාත්මක වූයේ කෙලෙසින් දැ යි සමාකරණයක් අත්හදා බැලීමට නියමිත ව තිබෙනවා. මේ ආශ්‍රයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ආසන්න වශයෙන් සති දෙකක කාලයක් වත් ගත වන බවත්, එය ද රඳා පවතින්නේ කරුණු අනාවරණය වන වේගය මත බවත් ඔහු සඳහන් කරනවා. NASA ආයතනය හෝ Boeing සමාගම මේ වන තෙක් Starliner කැප්සියුලය යළි පෘථිවිය වෙත පිටත් වන දිනයක් ප්‍රකාශයට පත් කර නැහැ.
Starliner නියමු කැප්සියුලයේ මංගල මෙහෙයුම සනිටුහන් කරමින් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත දින 10කට සැලසුම් කර තිබූ මෙහෙයුම සඳහා අභ්‍යවකාශගාමීන් වන Butch Wilmore සහ Suni Williams සහභාගී වුණා. ඔවුන් දෙදෙනාම හිටපු නාවික හමුදා පරීක්ෂණ ගුවන් නියමුවන්.
Butch සහ Suni අනපේක්ෂිත ලෙස දිග්ගැස්සුණ මෙහෙයුම් කාලය අභ්‍යවකාශ නැවතුම්පොළේ රාජකාරි කටයුතු සඳහා දායකත්වය ලබා දෙමින් ගත කිරීමට සූදානමින් පසු වනවා.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්