ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබා ගැනුණු අධි විභේදන ඡායාරූප මඟින් බ්‍රහස්පතිගේ මහා රතු ලපයට ඉහළ වායුගෝලයේ පවතින, මෙතෙක් නිරීක්ෂණය වී නො තිබූ ව්‍යුහයන් කිහිපයක් හඳුනා ගන්නනට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ අසාමාන්‍ය ලක්ෂණ ඇති වන්නේ වායුගෝලයේ පවතින අධිබලැති ගුරුත්ව තරංග හේතුවෙන් බව විශ්වාස කෙරෙනවා.
මුළු සෞරග්‍රහ මණ්ඩලයේ ම ඇති විශාලත ම කුණාටුව බ්‍රහස්පතිගේ මහා රතු ලපය වන අතර එය පෘථිවිය මෙන් දෙගුණයක විශාලත්වයකින් යුතු වනවා. NASA පර්යේෂකයන්ට අනුව එය වසර 300කට වැඩි කාලයක් තිස්සේ හමා යමින් පවතිනවා. එතුළ සුළං ප්‍රවාහය පැයට කිලෝමීටර 430ත්, 680ත් අතර වේගයකින් හමන බව සොයාගෙන තිබෙනවා.
කුණාටුවේ වයස, විශාලත්වය සහ ප්‍රබලත්වය මැද වුවත් විද්‍යාඥයන් මෙතෙක් සිතා සිටියේ එයට ඉහළින් පිහිටි බ්‍රහස්පති වායුගෝලය ඒ තරම්ම රසබර තොරතුරු හෙළි නො කරනු ඇති බවයි. නමුත් ජේම්ස් වෙබ් මඟින් 2022 ජුලි මාසයේ දී ලබා ගන්නා ලද ඡායාරූප මේ උපකල්පනය බොරු කරන්නට සමත් වී තිබුණා.
“අපි බොහොම බොලඳ විදිහට හිතාගෙන හිටියේ මේ කලාපය ඇත්තට ම කම්මැලි තැනක් වේ වි කියලයි. නමුත් නිසැක වශයෙන් ම එය උත්තරාලෝක තරමට ම රසවත්. බ්‍රහස්පති අප පුදුමයට පත් කරවීම නවත්වන්නේ නැහැ.” අධ්‍යයනය සිදු කළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී Leicester විශ්වවිද්‍යාලයේ Henrik Melin සඳහන් කරනවා.
බ්‍රහස්පතිගේ ඉහළ වායුගෝලය යනු පහළ වායුගෝලය, චුම්භක ක්ෂේත්‍රය සමඟ ගැටෙන කලාපයයි. මේ හේතුවෙන් දීප්තිමත් උත්තර හා දක්ෂිණාලෝක ඇති වනවා.
බ්‍රහස්පතිගේ වායුගෝලයෙන් නික්මෙන ආලෝකයේ බහුතරයට වග කිව යුතු වන්නේ හිරු එළිය වුවත්, රතු ලපයට ඉහළින් ඇති වන මේ ආලෝක ලප වැනි ව්‍යුහයන්ට වග කිව යුතු වන්නේ වෙනත් හේතුවක් බව විද්‍යාඥ කණ්ඩායම උපකල්පනය කරනවා.
“මේ ව්‍යුහය වෙරළට වදින රළ මෙන් හැඩය වෙනස් කරන බව පෙනෙන්නට තිබෙනවා. මේවා තැනෙන්නේ රතු ලපය ආශ්‍රිත ආකූල සහගත පහළ වායුගෝලය තුළයි. අනතුරු ව ඒවායේ උන්නතාංශය ඉහළ යන්නේ ඉහළ වායුගෝලයේ විමෝචනයන් සහ ව්‍යුහයන් වෙනස්කම්වලට භාජනය කරමින්.” Melin පහදා දෙනවා.
පර්යේෂණ කණ්ඩායම තැබීමට බලාපොරොත්තු වන මීළඟ පියවර වන්නේ රතු ලපය ආශ්‍රිත ව මතු වන මෙවැනි ලක්ෂණ වැඩි වශයෙන් හඳුනා ගැනීම සහ ඒවාට හේතු වන ගුරුත්ව තරංග සිතියම්ගත කිරීමයි.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්