සඳ වෙත බඩු බාහරාදිය ගෙන යාම වියදම් අධික කටයුත්තක්. නුදුරේ දී යළි චන්ද්‍රගාමීන් සඳ මතුපිටට පා තැබුවත් ඒ වියදමේ සැලකිය යුතු වෙනසක් ඇති වන්නේ නැහැ. සඳ වෙත යැවෙන සෑම ග්‍රෑම් එකක බර ප්‍රමාණයක් ම පෘථිවියේ ගුරුත්වයෙන් මිදීම සඳහා වැය වන ප්‍රචාලන ඉන්ධන ප්‍රමාණයකට වගකිව යුතුයි. එනිසා අනාගත චන්ද්‍ර ජනපදිකයන්ගේ අවශ්‍යතා චන්ද්‍රයා මතින් ම ඉටුකර ගත හැකි නම් එය පෘථිවියේ සිට වැය වන සෑම ග්‍රෑම් එකකට ම සාධාරණය ඉටු කරනු ඇති.
අනාගත චන්ද්‍ර වාසස්ථාන ඉදිකිරීමේ දී සඳ මතින් ම සොයාගත හැකි අමුද්‍රව්‍ය යොදාගැනීම අතිශය ලාබදායී වනු ඇති බව විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුවයි. මේ භාරධූර කටයුත්ත වගකීමක් ලෙස භාරගත් යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) විද්‍යාඥයන් මේ වන විට අලුත් මෙන් ම රසවත් වූ අදහසක් සලකා බලමින් සිටිනවා. එනම් අභ්‍යවකාශ දුහුවිල්ල සම්පීඩනය කරමින් තැනෙන ලෙගෝ ස්වරූපයෙන් යුතු ගඩොල් උපයෝගී කරගෙන ඉදිකිරීම් කටයුතු සිදු කිරීමයි.
“කිසිවෙකුත් සඳ මත යමක් ඉදිකර නැහැ. ඒ නිසා අපේ අභ්‍යවකාශ ගඩොල් යොදාගෙන, විවිධ හැඩයේ ඉදිකිරීම් රටාවන් උරගා බැලීමට ලැබීම අතිශය සතුටට කරුණක්.” ESAහි විද්‍යා නිලධාරී Aidan Cowley සඳහන් කරනවා.
නමුත් මේ ගඩොල් සෑදීම සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන තිබෙන්නේ සඳ මතුපිට පවතින දුහුවිලි නො වෙයි. විවිධ මිලාධික මෙහෙයුම් ඔස්සේ පොළොවට ගෙනැවිත් ඇති චන්ද්‍ර පස් සාම්පලවලින් ගඩොල් තනනවාට වඩා කළ හැකි වැදගත් විද්‍යාත්මක පර්යේෂණ එමටයි. එනිසා මෙහි දී විද්‍යාඥයන් යොදාගෙන තිබෙන්නේ චන්ද්‍ර කබොලට සමාන ලක්ෂණවලින් යුතු පස් රැගත් උල්කාපාතයකින් ගත් දුහුවිල්ලයි. BBC වාර්තා කරන පරිදි මේ සඳහා 2000 වසරට ආසන්න කලක දී වයඹදිග අප්‍රිකාවෙන් සොයාගත් වසර බිලියන 4.5ක් වයසැති උල්කාපාතයක් යොදාගෙන තිබෙනවා.උල්කාපාතයේ දුහුවිල්ල 2×4 ප්‍රමාණයේ ලෙගෝ ගඩොල් කුට්ටි බවට පත් කර තිබෙන්නේ ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයක් යොදාගනිමින්.
Space.com සහ BBC ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි