අභ්‍යවකාශ සක්මනක් ඇතුළත් ලොව මුල් ම වාණිජ්‍යමය අභ්‍යවකාශ මෙහෙයුම සඳහා මේ වන විට දින නියම වී පවතිනවා.
බිලියනපති Jared Isaacmanගේ මූල්‍යමය අනුග්‍රහකත්වයෙන් SpaceX සමාගම හා සහයෝගී ව සිදු කෙරෙන Polaris Dawn අභ්‍යවකාශ මෙහෙයුම එලැඹෙන ජූලි 31 වැනි දා දියත් කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘතියේ නියෝජිතයන් ඉකුත් දා X සටහනක් තබමින් නිවේදනය කර තිබුණා. කෙසේ නමුත් මේ SpaceX නිර්මාතෘ Elon Musk හෝ Isaacman තවමත් මේ ගැන නිල වශයෙන් සඳහනක් සිදු කර නැහැ.
Falcon 9 රොකට්ටුවක් සහ Dragon කැප්සියුලයක ආධාරයෙන් සිදු වන මේ මෙහෙයුම මඟින් පෞද්ගලික සමාගමක් මඟින් සිදු කෙරෙන ප්‍රථම අභ්‍යවකාශ සක්මන (spacewalk) ද සිදු වීමට නියමිතයි. Polaris Dawn මෙහෙයුමේ කක්ෂය පිහිටන්නේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර 700ක් ඉහළින්. එය 1960 – 70 ගණන්වල සිදු වූ ඇපලෝ මෙහෙයුම්වලින් පසු ඒ තරම් දුරස්ථ උන්නතාංශ මට්ටමකින් සිදු කෙරෙන ප්‍රථම නියමු මෙහෙයුම වීම ද විශේෂත්වයක්. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ පවා ගමන් කරන කක්ෂය පිහිටන්නේ දළ වශයෙන් පෘථිවියේ සිට කිලෝමීටර 400ක දුරින්.
Polaris Dawn මෙහෙයුම, Isaacmanගේ මූල්‍යමය ප්‍රතිපාදන යටතේ සිදු වීමට නියමිත මෙහෙයුම් තුනකින් සමන්විත Polaris වැඩසටහනේ පළමු වැනි මෙහෙයුමයි. මෙහෙයුමේ අණදෙන නිලධාරියා (mission commander) වශයෙන් ඔහු ද මෙහෙයුමට එක් වන අතර, නියමුවා වශයෙන් විශ්‍රාමික ලුතිනන් කර්නල් Scott ‘Kidd’ Poteet ද, මෙහෙයුම් විශේෂඥයන් ලෙස SpaceX සමාගමේ මෙහෙයුම් ඉංජිනේරුවන් වන Sarah Gillis සහ Anna Menon ද එක් වනු ඇති.
Polaris Dawn මෙහෙයුමේ මුල් ඉලක්කය වී තිබුණේ 2022 වසරේ දියත් කිරීමට වුවත්, මෙහෙයුම සඳහා ඇවැසි තාක්ෂණයේ සංකීර්ණතා හේතුවෙන් කිහිප වතාවක් ම කල් දමන්නට සිදු වුණා.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්