Home Science News ඇල්ප්ස් කඳු මත ග්ලැසියර දිය වීමෙන් හමු වන මානවකෘතීන්

ඇල්ප්ස් කඳු මත ග්ලැසියර දිය වීමෙන් හමු වන මානවකෘතීන්

by Sathya

ස්විස් ඇල්ප්ස් තරණය කරන කඳු නඟින්නන්ට හමු වන පුරාවිද්‍යාත්මක වටිනාකමින් හෙබි පුරාණ වස්තූන් පුරාවිද්‍යාඥයන් හට කාර්යබහුල කාලයක් උදා කරන්නට සමත් වී තිබෙනවා.

යකඩ යුගයේ සිට පුරාණ රෝමානු යුගය දක්වාත්, එතැන් සිට මධ්‍යතන යුගය දක්වාත් හිම ගහන ඇල්ප්ස් කඳු වැටි හරහා මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් වැටී තිබුණා. ගවයන් සහ කොටළුවන් උපයෝගී කර ගනිමින් තෙල්, වයින් සහ අවි ආයුධ පවා මේ මාර්ගය ඔස්සේ සංචරණය වුණා.

මේ ගමනාගමනය අතරතුර විවිධ අවස්ථාවන්හි දී අස්ථානගත වූ සහ අත්හැර දමනු ලැබූ ඇතැම් භාණ්ඩ, ග්ලැසියර දිය වී යාමත් සමඟ නැවත මතුවෙමින් තිබෙනවා. ඒ අතීත ශිෂ්ටාචාර ගැන හෝඩුවාවන් රැසක් හෙළි කිරීමට මංපෙත් විවර කරමින්.

අනෙකුත් යුරෝපීය රටවලට වඩා වැඩි ග්ලැසියර සංඛ්‍යාවක් ස්විට්සර්ලන්තය සතු වනවා. Swiss Academy of Sciencesහි දත්තවලට අනුව ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ 2022 සහ 2023 අතර කාලයේ දී එරට ඇති ග්ලැසියර ස්කන්ධයෙන් 10%ක ප්‍රමාණයක් දිය වී ගොස් තිබෙනවා. අතීතයේ දී යන ගමන අතර තුර දමා ගිය හෝ හැළී ගිය ඉපැරණි වස්තූන් වර්ථමානයේ ඇල්ප්ස් තරණය කරන්නන් හට විටින් විට හමු වන්නේ මේ අයිස් තට්ටු දිය වී යාමත් සමඟයි. ඔවුන් මෙසේ හමුවන ඉපැරණි පුරා වස්තූන් තමන් සමඟ යළි පහළට රැගෙන එනවා.

1999 වසරේ දී කඳු තරණය කරන ලද අයෙකු විසින් දිය වී යමින් තිබූ අයිස් තට්ටුව මත තිබී පිළිමයක් අනාවරණය කරගන්නට සමත් වී තිබූ අතර ඔහු එය 2018 දී පර්යේෂණ කටයුතු සඳහා පුරාවිද්‍යාඥයන් අතට පත් කිරීමට පියවර ගත්තා. පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වී තිබුණේ එය ක්‍රිස්තු පූර්ව 1 වැනි හෝ 2 වැනි සියවසට අයත් යකඩ යුගයේ සිදු කරන ලද නිමැවුමක් බවයි.

අයිස් තට්ටුවල දිය වීම වේගවත් වීමත් සමඟ මෙවැනි පුරාවස්තූන්ගේ මතු වීම ද වැඩි වෙමින් පවතින අතර ස්විට්සර්ලන්තයේ Sion නගරය ආශ්‍රිත ව සිටින පුරාවිද්‍යාඥයන් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙත යොමු වී තිබෙනවා.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications