මෙතෙක් කලකට සොයාගෙන ඇති ස්ටෙගෝසෝරසයෙකුගේ (stegosaurus) විශාලතම සහ පරිපූර්ණතම ෆොසිලය ඉකුත් දා නිව් යෝක්හි පැවති වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 44.6ක මුදලකට අලෙවි කෙරුණා.
“Apex” ලෙස සුරතල් නාමයෙන් හඳුන්වන ෆොසිලය මෙසේ අලෙවි වූයේ එය අලෙවි වේ යැ යි අපේක්ෂා කරන ලද මුදල මෙන් 11 ගුණයකටත් අධික ලංසුවකට වීම විශේෂත්වයක්.
2022 වසරේ දී මේ ස්ටෙගෝසෝරස ෆොසිලය හමු වී තිබුණේ ජේසන් කූපර් නම් වාණිජමය පාෂාණධාතුවේදියාට අයත් කොලරාඩෝහි Moffat County හි පිහිටි පෞද්ගලික ඉඩමකින්.
Apex උසින් මීටර 3.4ක් වන අතර, හොම්බේ සිට වල්ගාන්තය තෙක් මීටර 8.2ක දිගින් යුතු වනවා. මේ සොයාැනීමට පෙර වඩාත් ම පරිපූර්ණ ස්ටැගෝසෝරස ෆොසිලයේ වාර්තාව දැරුවේ ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති “Sophie” නම් නිදර්ශකයයි. Apex, Sophie මෙන් 30%ක අමතර විශාලත්වයකින් හෙබියි. ස්ටෙගෝසෝරසයෙකු සතු බවට සැලකෙන අස්ථි 319න් අස්ථි 254ක් ම හමු වී තිබීම Apex ෆොසිලය මෙතෙක් සොයාගත් පරිපූර්ණත ම ෆොසිලය බවට පත් වීමට හේතුවයි.
සටනකට අවතීර්ණ ව සිටි බවට හෝ මිය ගියායින් පසු මළකුණු බුදින්නන්ගේ ගොදුරක් බවට පත් වූ බවට හෝ සලකුණක් ඉන් හමු වී තිබුණේ නැහැ.
ෆොසිලය මිල දී ගනු ලැබ ඇත්තේ අනන්‍යතාව සඟවා සිටීමට කැමැති ගැනුම්කරුවෙකු විසිනුයි. ගැනුම්කරුවා එය කුලී පදනම මත ඇමරිකානු භූමිය තුළ තිබෙන ආයතනයකට ලබා දීමට බලාපොරොත්තුවෙන් පසු වන බව වාර්තා වනවා. “ඇපෙක්ස් ඉපදුණේ ඇමරිකාවේ. දිගට ම රැඳී ඉන්නෙත් ඇමරිකාවෙ!” ගනුදෙනුවෙන් පසු ගැනුම්කරුවා සඳහන් කර තිබුණා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්