Home Science News සඳේ වායුගෝලයට වැඩි වශයෙන් වගකිව යුත්තේ උල්කා ඝට්ටන බව සොයා ගැනේ

සඳේ වායුගෝලයට වැඩි වශයෙන් වගකිව යුත්තේ උල්කා ඝට්ටන බව සොයා ගැනේ

by Sathya

චන්ද්‍රයා සතු තුනී වායුගෝලය බිහි වුයේ කෙසේ ද යන අබිරහස විසඳන්නට විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මේ සඳහා Apollo මෙහෙයුම් මඟින් පොළොවට ගෙන එන ලද චන්ද්‍ර සාම්පල ද උපකාර කරගෙන තිබෙනවා.

1960 සහ 70 අතර කාලයේ සිදු වූ සඳ තරණ මෙහෙයුම් මඟින් NASA ආයතනය අනාවරණය කරගත් පරිදි පෘථිවියේ වායුගෝලය මෙන් නො ව චන්ද්‍රයා සතු ව පවතින්නේ අතිශය තුනී වායුගෝලයක්. එය බිහි වූයේත් පවතින්නේත් චන්ද්‍ර මතුපිට අභ්‍යවකාශයට නිරාවරණය වීමෙන් සිදු වන ඛාදනය වීමෙන් බව එකල උපකල්පනය කෙරුණා.

නවතම අධ්‍යයනයන්ට අනුව විශේෂඥයන් දැන් පවසන්නේ චන්ද්‍රයාගේ වායුගෝලය තැනීමේ ක්‍රියාවලිය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන්නේ උල්කා ඝට්ටන බවයි.

“අපේ සොයාගැනීම් මඟින් චන්ද්‍ර පෘෂ්ඨය දීර්ඝකාලීන ව වායුගෝලය සමඟ අන්තර් සබඳතා පවත්වන්නේ කෙසේ ද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් ලබාගත හැකි වනවා වගේ ම අභ්‍යවකාශයේ සිදු වන ඛාදන ක්‍රියාවලිය ගැනත් අවබෝධය වැඩි කරගත හැකියි.” අධ්‍යයනයේ සම කර්තෘ, මැසචුසෙට්ස් තාක්ෂණායතනයේ පෘථිවි, වායුගෝලීය හා ග්‍රහ විද්‍ය‌ා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරියක වන Nicole Nie සඳහන් කරනවා.

ඉකුත් දා Science Advances ජර්නලයේ පළ වූ වාර්තාවකට අනුව Nie සහ පර්යේෂණ සගයන් පෙන්වා දෙන්නේ අඩු චන්ද්‍ර ගුරුත්වය හේතුවෙන් වායුගෝලයේ ඇතැම් පරමාණු සදහට ම පිටත අභ්‍යවකාශයට විසි වී යන නිසා සහ ඇතැම් විට චන්ද්‍ර පෘෂ්ඨය මත ම සිර වී තිබෙන නිසා, චන්ද්‍ර වායුගෝලය නිරන්තරයෙන් යළි යළි හානි පූරණය වන වැස්මකක් විය යුතු බවයි.

චන්ද්‍ර පෘෂ්ඨය මත සිර වී තිබෙන පරමාණු සූර්යයාගේ සිට පැමිණෙන පාරජම්බුල ෆෝටෝන මඟින් නිදහස් විය හැකි නමුත්, පර්යේෂකයන් පෙන්වා දෙන්නේ චන්ද්‍ර වායුගෝලයේ අඩු ව පුරවන පරමාණු වැඩි ප්‍රමාණයක් චන්ද්‍ර ඛනිජ හා සබඳතා පෙන්නුම් කරන බවයි. එය සිදු වන්නේ උල්කා ඝට්ටනවල දී ඇති වන වාෂ්පීකරණ ක්‍රියාවලියේ දී හෝ සූර්ය සුළඟ නිසා ආරෝපිත අංශූන් චන්ද්‍ර පෘෂ්ඨය මත වැටීමෙන් සිදු වන පරමාණු විසර්ජනයන් හේතුවෙන් බව 2013 දී දියත් කරන ලද NASA ආයතනයේ lunar atmosphere and dust environment explorer චන්ද්‍රිකාවෙන් අනාවරණය කර ගැනුණා.

නමුත් මේ සාධක දෙකෙන් වඩාත් ම බලපෑමක් ඇති කරන්නේ කුමක් ද යන්න මෙතෙක් පැවතියේ අපැහැදිලි වයි.

Nie සහ කණ්ඩායම සිය පර්යේෂණයේ දී ඇපලෝ මෙහෙයුම් මඟින් පොළොවට ගෙන එන ලද චන්ද්‍ර පාංශු සාම්පල දහයක් විශ්ලේෂණයට භාජනය කරන විට ඒවායේ තිබී පොටෑසියම් සහ රුබීඩියම් සමස්ථානික හමු වී තිබුණා.

“චන්ද්‍ර පසෙහි සමස්ථානික සංයුතිය මැනීමෙන් පසු, අපි විවිධ අභ්‍යවකාශ කාලගුණ ක්‍රියාවලීන් සැලකිල්ලට ගනිමින් ගණිතමය ආකෘතියක් ගොඩනඟා, මනින ලද සමස්ථානික සංයුතියට ඊට ගැලපීම සිදු කළා.” Nie සඳහන් කරනවා.

මෙහි ප්‍රතිඵල මඟින් චන්ද්‍රයාගේ වායුගෝලය තැනීම සඳහා උල්කා ඝට්ටන මඟින් 70%ක දායකත්වයකුත්, සූර්ය සුළඟ මඟින් 30% දායකත්වයකුත් ලැබෙන බව යෝජනා කෙරුණා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications