Home Science News බළලුන් වියෝ දුක පළ කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

බළලුන් වියෝ දුක පළ කරන බව අධ්‍යයනයක් පෙන්වා දෙයි

by Sathya

බළලුන් බොහෝ විට පෙන්නුම් කරන්නේ සුනඛයන්ට වඩා ස්වාධීන, ඇතැම් විට උද්ධච්ඡ හැසිරීම් රටාවක්. නමුත් පර්යේෂණයක් පෙන්වා දෙන්නේ එක ම නිවසේ තමා සමඟ සුරතලයට ඇති කෙරෙන වෙනත් සතෙකුගේ මරණයේ දී පවා ඔවුන් සංවේගයට පත් වන බවයි. එය පවුලේ බලු සුරතලාගේ වියෝවේ දී පවා පූසා වෙතින් දැකගත හැකි බව පර්යේෂණය පෙන්වා දෙනවා.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිය අධ්‍යයනයේ ප්‍රතිඵල මඟින් බළලුන් සමාජශීලී නො වන සුරතලුන් බවට ඇති මතය අභියෝගයට ලක් කෙරෙන අතර අහිමි වීම පිළිබඳ මානසික අත්දැකීම විශ්වීය විය හැකි බවයි.

“ඔවුන් කෙටි නින්දෙන් සෑහුණු අතර ආහාර ගත්තේත්, සෙල්ලම් ක‌ළේත් අඩුවෙන්. ඔවුන් සැඟවෙමින්, තනි ව කාලය ගත කළ අතර, නැති වූ සගයා සොයන අයුරින් හැසිරී තිබුණා.” ඇමරිකාවේ Oakland විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා. අධ්‍යයන පත්‍රිකාව ඉකුත් දා Applied Animal Behaviour Science ජර්නලයේ පළ වී තිබුණා.

වැලපීම සත්ත්ව රාජධානිය තුළ සුලභයි. උදාහරණ වශයෙන් අලි ඇතුන්, ඩොල්ෆින් සතුන් සහ චිම්පන්සීන් සිය සගයෙකුගේ මරණයෙන් පසු මළ සිරුර අසල හිඳිමින් දොම්නස් සහගත හැසිරීම් රටා පානු දැකගත හැකියි. මෑතක දී ඉතාලි ජාතික පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයකින් සොයා ගැනුණේ සුනඛයන් ද ගෙදර දොරේ සිටින තවත් සුනඛයෙකුගේ මරණයේ දී හැසිරෙන්නේ වෙනස් ආකාරයකට බවයි.

කෙසේ නමුත් Oakland විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ බළලෙකුගෙන් වියෝ දුක දැකබලා ගැනීම තවත් පැහැදිලි කරගත යුතු ව ඇති සංසිද්ධියක් බවයි.

“කණ්ඩායම් වශයෙන් සරන සතුන්ගෙන් පැවත එන සුනඛයන් සිය සගයෙකුගේ වියෝවේ දී දුක් වනු දැකගැනීම සාධාරණ දෙයක්. බළලුන් සගයන් ඇසුරු කිරීම සිදු කරන්නේ මිනිස් රැකවරණය යටතේ බැවින් ඔවුන්ගේ වියෝ දුක තවත් අධ්‍යයනයට භාජනය විය යුතුයි.” අධ්‍යයනයෙන් පර්යේෂකයන් පෙන්වා දෙනවා.

ඔවුන් සිය අධ්‍යයනය සඳහා බළලුන් 450කගේ චර්යාවන් සමීප ව නිරීක්ෂණය කර තිබුණා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications