Home Science News ව්‍යාධිජනක බැක්ටීරියා පෙරා හරින මුහුදු තෘණ

ව්‍යාධිජනක බැක්ටීරියා පෙරා හරින මුහුදු තෘණ

by Sathya

ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද නවතම පර්යේෂණයකින්, මිනිසුන් වෙත බලපෑම් එල්ල කළ හැකි ව්‍යාධිජනක බැක්ටීරියා අවම කරන බව සොයාගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු 2 වැනි දා Nature Sustainability ජර්නලයේ පළ වූ අධ්‍යයන වාර්තාවෙන් මුහුදු තෘණ බිම් සිය සාගර පරිසර පද්ධතිය තුළ ඉටු කරන භූමිකාව ගැන පැහැදිලි චිත්‍රයක් ලබා දී තිබෙනවා. ඒවා සාගර ජීවීන් හට වාසස්ථාන ද සපයමින්, සාගර ජලය පිරිසිදු කිරීමේ ලා වැදගත් වනවා සේ ම, ජලයේ පවතින ව්‍යාධිජනක බැක්ටීරියා පෙරා හරිමින් ස්වභාවික පිරිපහදු පද්ධතියක් ලෙස ද කටයුතු කරන බව ඉන් පෙනී යනවා.

සාගර ජලය ඔස්සේ එන බෝ වන රෝග නිසා ගෝලීය වශයෙන් වසරකට වියදම් වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 12ක් බවට ගණන් බලා තිබෙනවා. එසේ ම ඇතැම් බැක්ටීරියාවන් ක්ෂුද්‍ර ජීව නාශක බෙහෙත්වලට දක්වන ප්‍රතිරෝධීතාව මත වරින් වර ලෝක ජනගහනයෙන් මිලියන 300ක් පමණ මිය යනු ඇති බවත්, ඇමරිකානු ඩොලර් ට්‍රිලායන 100ක ආර්ථික අලාභයක් සිදු වීමට ඉඩ ඇති බවටත් පුරෝකථනය වී තිබීම හේතුවෙන්, මේ ස්වභාවික පෙරහන් ක්‍රියාවලිය මනා ලෙස අධ්‍යයනය කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා.

“ප්‍රතිජීවකවලට පවා ප්‍රතිරෝධයක් දක්වන බවට සොයාගෙන ඇති ව්‍යාධිකාරක බැක්ටීරියාවන් ගණනාවක් ද ඇතුළු ව අවම කිරීමේ හැකියාව වෙරළබඩ මුහුදු තෘණ පද්ධතීන් සතු ව ඇති බවට ප්‍රථම වතාවට සාක්ෂි සහිත ව අපේ පත්‍රිකාවේ ඔප්පු කර තිබෙනවා.” එසේ පවසන්නේ, කැලිෆෝනියානු විශ්වවිද්‍යාලයේ මෙන් ම Charlie Dunlop School of Biological Sciencesහි සහකාර මහාචාර්ය Joleah Lamb. ඇය අධ්‍යයනය මෙහෙයවූයේ Cornell විශ්වවිද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය Drew Harvell සමඟයි.

පර්යේෂකයන් වොශිංටනයේ පිහිටි මත්ස්‍ය දෙපාර්තමේන්තුව මඟින් වෙරළ කලාප 20ක් වෙත මුදාහරින ලද මට්ටි මසුන්ගේ (mussel) කරමල් පරීක්ෂාකර බැලුවා. මුහුදු තෘණ සහිත සාගර කලාපවල වාසය කරන මසුන්ගේ කරමල්වල සිටින බැක්ටීරියාවන්ගේ 65%ක අඩු වීමක් නිරීක්ෂණය කරන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබුණා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications