Boeing සමාගම විසින් නිපදවන ලද Starliner අභ්‍යවකාශ යානය යළිත් ගගනගාමීන් රැගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගමන් කිරීමට තවත් වසර දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි NASA ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව Starliner යානයේ මීළඟ මිනිසුන් සහිත මෙහෙයුම 2028 වසරේ දී සිදු කිරීමට අපේක්ෂා කෙරෙනවා.
NASA ආයතනයේ නවතම සැලැස්මට අනුව, එම මෙහෙයුමට පෙර Starliner යානය ගගනගාමීන් නොමැති පරීක්ෂණ මෙහෙයුමක් සඳහා යොමු කිරීමට නියමිතයි. එය 2026 දෙසැම්බර් මාසයේ හෝ 2027 ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට සැලසුම් කර තිබෙනවා. එම පරීක්ෂණය සාර්ථක වීමෙන් පසු පමණක් මිනිසුන් රැගෙන යන ඊළඟ මෙහෙයුම සඳහා අවශ්‍ය සහතිකකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇති.
Starliner වැඩසටහනේ ගැටලු අලුත් ඒවා නොවෙයි. එහි පළමු අභ්‍යවකාශ ගමන 2019 දෙසැම්බර් මාසයේ දී සිදු වූ අතර, එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අසමත් වුණා. යානයේ පරිගණක පද්ධතියේ වේලාව සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එය වැරදි කක්ෂයකට ඇතුළත් ව තිබුණා.
2022 මැයි මාසයේ දී සිදු කළ දෙවැනි ගගනගාමීන් රහිත පරීක්ෂණය මගින් යානය ISS වෙත සාර්ථකව ළඟා වීමට සමත් වුවද, එම ගමනේදී ද යානයේ ත්‍රස්ටර් දෙකක අක්‍රියතාවක් වාර්තා වුණා. කෙසේ වෙතත්, Starliner වැඩසටහනේ වඩාත්ම අවධානයට ලක් වූ ගැටලු ඇති වූයේ 2024 වසරේ සිදු කළ පළමු මිනිසුන් සහිත පරීක්ෂණ ගමනේ දීයි.
2024 ජූනි මාසයේ දී සුනි විලියම්ස් සහ බච් විල්මෝර් යන NASA ගගනගාමීන් දෙදෙනා Starliner යානයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කළා. එය සැලසුම් කර තිබුණේ දින 10ක පමණ පරීක්ෂණ මෙහෙයුමක් ලෙසයි.
එහෙත් යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට පෙර හීලියම් කාන්දුවීම් සහ එහි ප්‍රතික්‍රියා පාලන පද්ධතියේ ත්‍රස්ටර් හෙවත් තෙරපුම්කාරක පහක් අක්‍රිය වීම ඇතුළු ගැටලු මතු වුණා.
මෙම තත්ත්වය හමුවේ ගගනගාමීන් දෙදෙනා Starliner යානයෙන් නැවත පෘථිවියට ගෙන ඒම අවදානම් සහගත බව NASA ආයතනය තීරණය කළ අතර, 2024 සැප්තැම්බර් මාසයේ දී Starliner යානය ගගනගාමීන් නොමැතිව පෘථිවියට ගෙන්වා ගැනුණා.
විලියම්ස් සහ විල්මෝර් පසුව SpaceX Crew Dragon යානයක් මඟින් 2025 මාර්තු මාසයේ දී පෘථිවියට ආපසු ගෙන්වා ගැනුණා.
NASA සහ Boeing සමාගම් දෙක පවසන්නේ 2024 මෙහෙයුමේ දී හඳුනාගත් ගැටලු විසඳීම සඳහා Starliner යානයේ සැලකිය යුතු වෙනස්කම් සිදු කර ඇති බවයි.
හීලියම් කාන්දුවීම්වලට හේතු වූයේ යානයේ ප්‍රචාලන පද්ධතියේ කපාටවල ගැටලු බව හඳුනාගෙන තිබෙනවා. නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් නම් ඔක්සිකාරකයට නිරාවරණය වීම හේතුවෙන් එම කපාටවල ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වී තිබූ බව NASA සඳහන් කරනවා.
ඒ අනුව නව Starliner යානය සඳහා එම පද්ධතිවල සැලසුම් වෙනස් කිරීමට පියවර ගෙන තියෙනවා. එමෙන් ම නව කාර්ය මණ්ඩල ත්‍රස්ටර්, නව බැටරි සහ පැරෂුට් පද්ධතියේ වෙනස්කම් ද සිදු කිරීමට නියමිතයි. මෙහි අරමුණ වන්නේ යානයේ ක්‍රියාකාරීත්වය සහ විශ්වසනීයත්වය වැඩි කිරීමයි.
Starliner යානයේ මීළඟ මිනිසුන් සහිත මෙහෙයුම 2028 වසරේ මැද භාගයේදී සිදු කිරීමට ඉලක්ක කර ඇති බව Boeing පාර්ශ්වයෙන් දැනුම් දී තිබෙනවා.
එහෙත් එම මෙහෙයුම සඳහා භාවිත කරන රොකට්ටුව සම්බන්ධයෙන් ද වෙනසක් ඇති විය හැකි බව NASA ආයතනය පෙන්වා දී තිබෙනවා. Starliner මෙහෙයුම් සඳහා මෙතෙක් භාවිත කර ඇති Atlas V රොකට්ටුව වෙනුවට වෙනත් රොකට්ටුවක් භාවිත කිරීමට සිදුවිය හැකි අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් තාක්ෂණික හා මෙහෙයුම්මය කරුණු සලකා බැලීමට නියමිතයි.
මේ අතර Starliner වැඩසටහන පිළිබඳ NASA ආයතනයේ විශ්වාසය සම්පූර්ණයෙන් අත්හැර දමා නැහැ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් ප්‍රවාහනය කිරීම සඳහා එක ම පෞද්ගලික සමාගමක් මත රඳා නොසිටීම NASAහි දිගුකාලීන අරමුණක්.
SpaceX සමාගම 2020දී සිය Crew Dragon යානය මගින් NASA ගගනගාමීන් ISS වෙත යැවීම ආරම්භ කළ අතර, එතැන් සිට එම පද්ධතිය නිත්‍ය ගගනගාමී මෙහෙයුම් සඳහා භාවිත කරමින් සිටිනවා. 2026 සැප්තැම්බර් මාසයේ දී ද NASA ආයතනය SpaceX වෙත තවත් ගගනගාමී මෙහෙයුම් තුනක් සඳහා ඩොලර් මිලියන 946ක කොන්ත්‍රාත් සංශෝධනයක් ලබා දී තිබුණා.
ඒ අනුව Starliner නැවත මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා සහතික කිරීමට ගතවන කාලය NASA ආයතනයට වැදගත් කරුණක් වී තිබෙනවා. 2026 ජූනි මාසයේ නිකුත් කළ NASA අභ්‍යන්තර විගණන වාර්තාවක් ද හීලියම් කාන්දුවීම්, ප්‍රචාලන පද්ධතියේ ගැටලු සහ පැරෂුට් සම්බන්ධ ගැටලු Starliner සඳහා මානව ගුවන් ගමන් සහතිකකරණය ප්‍රමාද වීමට බලපා ඇති බව පෙන්වා දී තිබුණා.
එහෙත් නව සැලැස්ම යටතේ පළමුව ගගනගාමීන් නොමැති මෙහෙයුමක් සිදු කර එහි ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුව පමණක් ගගනගාමීන් රැගෙන යන මෙහෙයුමකට යාමට NASA ආයතනය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින Boeing Starliner වැඩසටහනේ මීළඟ තීරණාත්මක පියවර වන්නේ 2026 අවසානයේ හෝ 2027 ආරම්භයේ දී සිදු කිරීමට නියමිත ගගනගාමීන් රහිත පරීක්ෂණ මෙහෙයුමයි. එය සාර්ථක වුවහොත්, 2028දී Starliner යානය යළිත් ගගනගාමීන් රැගෙන ISS වෙත යන මෙහෙයුම සඳහා මාර්ගය විවෘත වනු ඇති.