Home Science News සඳ මත බලශක්තිය නිපදවීම සඳහා දැවැන්ත සූර්ය බලශක්ති කුලුනක්

සඳ මත බලශක්තිය නිපදවීම සඳහා දැවැන්ත සූර්ය බලශක්ති කුලුනක්

by Sathya

ප්‍රකෝටිපති ජෙෆ් බෙසොස්ගේ අභ්‍යවකාශ සමාගම වන Blue Origin විසින් අනාගත චන්ද්‍ර කඳවුරක් සඳහා සූර්ය විදුලිය සැපයීමට නිර්මාණය කරන ලද දැවැන්ත බලශක්ති කුලුනක් (Power Tower) හඳුන්වා දී තිබෙනවා.

සැප්තැම්බර් 25 වැනිදා X සමාජ මාධ්‍ය ජාලය වෙත වීඩියෝවක් එක් කරමින්, ඔවුන් මෙම කුලුන සඳ මතුපිටට ගොඩබසින ආකාරය සහ ඉන්පසු ව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සජීවීකරණයක් ඉදිරිපත් කර තිබුණා. මීට අමතර ව 2026 ජූලි 22 වන දින පෘථිවිය මත සිදු කරන ලද මෙහි සැබෑ අත්හදා බැලීමක දර්ශන ද YouTube හරහා ඔවුන් විසින් මුදාහරිනු ලැබුණා.

Blue Origin සමාගමට අනුව මෙම ‘පවර් ටවර්’ එක මීටර් 20ක් උසැති, සිරස් අතට දිගහැරෙන සූර්ය පැනල පද්ධතියක්. චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ සිදු කෙරෙන මෙහෙයුම් සඳහා කිලෝවොට් 10කට වඩා වැඩි බලශක්තියක් සැපයීමට මෙය නිර්මාණය කර තිබෙනවා. මෙහි ඇති මොඩියුලර් සැකැස්ම හරහා ගොඩබෑමේ යානයෙන් ඔබ්බට ගොස් චන්ද්‍ර කඳවුරේ විදුලිය අවශ්‍ය වන විවිධ අංශ වෙත පහසුවෙන් බලශක්තිය බෙදා හැරීමට ද හැකි වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම නවතම බලශක්ති කුලුන, Blue Origin සමාගමේ අනුබද්ධ ආයතනයක් වන Honeybee Robotics විසින් මීට පෙර නිර්මාණය කරන ලද LAMPS (Lunar Array Mast and Power System) නම් තාක්ෂණයේ වැඩිදියුණු කිරීමක් ලෙස සැලකෙනවා. LAMPS තාක්ෂණය 2024 වසරේ දී NASA ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී ද අත්හදා බලා තිබෙනවා. අනාගතයේ දී සඳ මත ස්ථීර ලෙස රැඳී සිටීම සඳහා අවශ්‍ය බලශක්තිය නිපදවීමට NASA ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන VSAT (Vertical Solar Array Technology) ව්‍යාපෘතියට ද Honeybee Robotics සමාගම දායකත්වය සපයනවා.

NASA ආයතනයේ Artemis වැඩසටහන යටතේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති චන්ද්‍ර කඳවුර සඳහා මෙම බලශක්ති කුලුන භාවිත වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. NASA චන්ද්‍ර කඳවුරු ව්‍යාපෘතියේ පළමු අදියර 2029 දක්වා ක්‍රියාත්මක වන අතර, වත්මන් කාලසටහනට අනුව 2032 වන විට මෙම චන්ද්‍ර කඳවුර සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications