Home Science News DART කළ වික්‍රමය බලන්න Hera උඩුගුවනට

DART කළ වික්‍රමය බලන්න Hera උඩුගුවනට

by Sathya

වසර දෙදකට පෙර NASA ආයතනයේ Double Asteroid Redirection Test (DART) මෙහෙයුම මඟින් ගැටීමක් ඇති කර ගමන් මඟ වෙනස් කරන ලද Dimorphos ග්‍රහකයේ නවතම තතු නිරීක්ෂණය කිරීම සඳහා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් සැලසුම් කරන ලද Hera යානය ඊයේ (07) පස්වරුවේ අභ්‍යවකාශගත කෙරුණා. ඒ ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් තුඩුවේ සිට SpaceX Falcon 9 රොකට්ටුවක ආධාරයෙන්.

Hera මෙහෙයුමේ අරමුණ වන්නේ DART යානය Dimorphos ග්‍රහකය මත ගැටුණු ස්ථානය සමීප ව නිරීක්ෂණය කර ඉන් ග්‍රහකයට සිදු වී ඇති බලපෑම සවිස්තරාත්මක ලෙස මැන බැලීමයි. ඉන් ලබා ගැනෙන දත්ත ග්‍රහකවලින් පෘථිවිය ආරක්ෂාකර ගැනීමේ ව්‍යායාමයේ දී වැදගත් වනු ඇතැ යි බලාපොරොත්තු වනවා.

සියල්ල අපේක්ෂිත අයුරින් සිදු වුවහොත් ලබන වසරේ මාර්තු වන විට Hera යානය අඟහරු පසුකරමින් ගමන් කරනු ඇති අතර, පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 177ක් ඈතින් පිහිටන ග්‍රහකය වෙත සමීප වනු ඇත්තේ 2026 දෙසැම්බරයේ දීයි.

සරණ බන්ධනයට, කාන්තාවන්ට සහ පවුලට අධිපති ග්‍රීක දෙවඟනගේ නමින් නම් කර ඇති Hera මීටර 150ක පළලකින් යුතු Dimorphos ග්‍රහකය මෙන් ම එහි ප්‍රධාන ග්‍රහකය ලෙස පවතින මීටර 780ක පළලකින් යුතු Didymos ග්‍රහකයේ තත්ත්වය ද පරීක්ෂා කර බලනු ඇති. 2022 දී NASA ආයතනයේ Dart යානය පැයට සැතපුම් 14,000ක වේගයකින් Didymos වටා කක්ෂගත ව පවතින Dimorphos ග්‍රහකයේ ගැටෙන්නට සැලැස්වුණු අතර ඉන් විද්‍යාඥයන්ගේ අපේක්ෂාව මල්ඵල ගන්වමින් එහි කක්ෂය වෙනසකට බඳුන් කිරීමට හැකියාව ලැබුණා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications