ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට දරුණු ගණයේ සුළි කුණාටුවකට මුහුණ දෙමින් සිටිනවා. ‘මිල්ටන්’ ලෙස නම් කර ඇති එය ඉකුත් සඳුදා (07) 5 වැනි මට්ටමේ හරිකේනයක් දක්වා වර්ධනය වුණා. මේ හේතුවෙන් ෆ්ලොරීඩා ආණ්ඩුකාරවරයාට හදිසි අවස්ථාවක් ද ප්‍රකාශයට පත් කිරීමට සිදු වුණා. ෆ්ලොරිඩාවේ බටහිර වෙරළාසන්න කවුන්ටි ගණනාවකම ජනතාව වෙත එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අනිවාර්ය නියෝග නිකුත් කර තිබෙනවා.
ඉරිදා වන විට මිල්ටන්ගේ උපරිම සුළඟේ වේගය වාර්තා වූයේ පැයට මීටර් 65ක් ලෙසයි. National Hurricane Centerහි දත්තවලට අනුව සඳුදා එය ගල්ෆ් මෙක්සිකෝ මුහුදු කලාපය හරහා ෆ්ලොරීඩාව වෙත ඇදී එන විට එහි වේගය පැයට සැතපුම් 155ක් දක්වා වර්ධනය වී තිබුණා. ඇමරිකාවේ ජාතික සාගරික සහ වායුගෝලීය පාලනාධිකාරය හෙවත් NOAA සතු GOES-16 චන්ද්‍රිකාව අභ්‍යවකාශයේ සිට හරිකේනය ලුහුබැඳීමේ කටයුතු සිදු කළේ එය පැයට සැතපුම් 35ක වේගයකින් ගමන් කරමින් සිටි සමයේ සිටයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටින ගගනාගාමීන් අතින් ද මිල්ටන්ගේ තත්ත්වය නිරීක්ෂණයට ලක් වුණා. අභ්‍යවකාශ නැවතුම්පොළේ නිල X ගිණුම හරහා පළ කර තිබූ වීඩියෝපටයක දැක්වෙන්නේ ඉකුත් සඳුදා පොළොවේ සිට සැතපුම් 250ක උන්නතාංශයකින් පියාසර කරන අතරවාරයේ මිල්ටන් හරිකේනයට ඉහළින් ලබාගැනුණු දර්ශනයි.
අඟහරුවාදා උදෑසන වන විට හරිකේනයේ බලසම්පන්න බව තරමක් අඩු වූ අතර 4 වන මට්ටමේ හරිකේනයක් බවට පත් වුණා. කාලගුණ විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය 5 මට්ටමේ සිට 4 මට්ටම දක්වා පහළ බැස්සත් කුණාටුව මධ්‍යයේ පවතින ‘ඇස’ (eye) ප්‍රමාණයෙන් විශාල වන බව නිරීක්ෂණය වන බැවින් සුළං ප්‍රවාහ බලපවත්නා ප්‍රදේශය තවත් පුළුල් විය හැකි බවයි.
සෞන්දර්ය සෙනරත්