Home Science News අභ්‍යවකාශ තරණයේ සංධිස්ථානයක් වූ Starship පස් වැනි පියාසැරිය

අභ්‍යවකාශ තරණයේ සංධිස්ථානයක් වූ Starship පස් වැනි පියාසැරිය

by Sathya

SpaceX සමාගමේ Starship රොකට්ටුව ඊයේ තවත් කඩඉමක් පැනීමට සමත් වුණා. ඒ එහි පස් වැනි පරීක්ෂණ පියාසැරිය අති සාර්ථක ලෙස අවසන් කරමින්.

ඊයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30ට ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි බොකා චිකාහි පිහිටා ඇති Starbase අභ්‍යවකාශ අංගණයේ සිට Starship යානය සිය පස් වැනි පරීක්ෂණ පියාසැරිය සඳහා ගුවනට නැඟුණේ ප්‍රේක්ෂක ප්‍රජාවගේ ජයඝෝෂා මධ්‍යයේයි. මෙවර පියාසැරියේ සිදු වූ සුවිශේෂ ම සිදු වීම නම් සමස්ත රොකට්ටුවේ දෙවන පළමු අදියර ලෙස සැලකිය හැකි Super Heavy බූස්ටරය ප්‍රචාලනයන් සහිත ව නැවතත් සුමට ගොඩබැස්මක් සිදු කරීමයි.

බූස්ටරය Starship යානයෙන් වෙන් වූ පසු සුමට ගොඩබෑමට අවශ්‍ය විධානය SpaceX විසින් නිකුත් කරන ලද අතර එය සිය ප්‍රචාලනයන් නිසි පරිදි පවත්වාගනිමින් යළිත් මෙහෙයුම දියත් වූ බොකා චිකාහි ‘මෙකාසිලා’ ලෙස නම් කර ඇති දියත් කිරීමේ කුළුණ වෙත පැමිණි පසු ‘චොප්ස්ටික්ස්’ ලෙස හැඳින්වෙන රොබෝතික හස්ත යුගලය නිසි පරිදි ක්‍රියාත්මක වී එය සුමට ලෙස දරාගන්නට සමත් වුණා. එය මෙතෙක් පැමිණි මානව අභ්‍යවකාශ තරණ ගමන් මඟේ අද්විතීය සංධිස්ථානයක් ලෙස ඉතිහාසයට එක් වුණා.

බූස්ටරය සාර්ථක ලෙස යළි පොළොව මතට ඒමට මෙහෙයුම ඇරඹූ තත්ත්පරයේ සිට ගත වී තිබුණේ විනාඩි හතක් කාලයක් වුවත් ඉන් මෙහෙයුම අවසන් වූයේ නැහැ. පාලන මැදිරිය තුළ මේ සාර්ථකත්වයේ ජය සැමරුම් හඬ පැතිර යන විට බූස්ටරයෙන් වෙන් වූ Starship යානය තිබුණේ අභ්‍යවකාශයේයි. එය ස්වකීය එන්ජින් දල්වමින් පෘථිවිය වටා අභ්‍යවකාශයේ පියාසැරුවා. ඒ පැයට කිලෝමීටර 26,200ක වේගයෙන්. කෙසේ නමුත් එය පැවතියේ පෘථිවිය වටා කක්ෂයකට අනුගත ව නො වෙයි. කෙසේ නමුත් එය කක්ෂීය වේගයට ආසන්න වේගයකින් තිරස් මඟක ගමන් කළා. ඒ පෘථිවියේ ගුරුත්වය විසින් සිදු කෙරන බලපෑමට අනුව ස්වභාවික ව ම උන්නතාංශයේ පහළ වැටීමට ඉඩ ලබා දෙමින්.

මෙලෙස යළිත් පෘථිවියේ ඉහළ වායුගෝලයට ඇතුළු වූ Starship යානය “Max Q” යනුවෙන් හඳුන්වනු ලබන උපරිම වායුගතික පීඩනයට සාර්ථක ලෙස මුහුණ දුන්නේ ඒ් වටා ඇති වන මනරම් පෙනුමැති ප්ලාස්මා ධාරාවකට ද ඉඩ සලසා දෙමින්. ඒ් වන විට යානය ශබ්දයේ වේගය මෙන් 21 ගුණයක වේගයකින් පියාසර කරමින් සිටියා. මෙලෙස සාර්ථක ලෙස ඉන්දියානු සාගර කලාපයට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ යානය සිය වේගය යථා පරිදි පාලනය කරගනිමින් ඉන්දියානු සාගරය මතය පාලිත සුමට ගොඩබැස්මක් සිදු කළා. එය කලින් සැලසුම් කර තිබූ පරිදි නියමිත ස්ථානයට ම ගොඩබැස්වීමට හැකි වීම SpaceX ලද තවත් ජයග්‍රහණයක්. එහි සාර්ථකත්වය මත මින් මතුවට සිදු කෙරෙන පියාසැරිවල දී Starship යානය පොළොවට ගොඩබැසීවීම සඳහා අවසරය හිමි වනු ඇති.

මෙහෙයුමේ සාර්ථකත්ව පිළිබඳ සුබ පැතුම් එක්කරමින් X සටහනක් තැබූ NASA ප්‍රධානී බිල් නෙල්සන් සඳහන් කළේ ආටමිස් මෙහෙයුම් ඔස්සේ සඳ තරණය කිරීම අබිමුව සිටින මේ මොහොතේ එහි සුවිශේෂ කාර්යභාරයක් සිදු කිරීමට පැවරී තිබෙන Starship යානය දිගින් දිගටම සාර්ථක ලෙස පරීක්ෂණ පියාසැරිවල නියැලෙනු දැකීම සතුට දනවන්නක් බවයි.

2026 දී සිදු වීමට නියමිත Artemis III මෙහෙයුමේ දී චන්ද්‍රගාමීන් සඳ වෙත රැගෙන යෑම සඳහා NASA විසින් තෝරාගනු ලැබ ඇත්තේ Starship යානයයි. “ස්තුතියි මහත්මයා! මිනිස් වග යළි සඳ වෙත රැගෙන යාමේ දී NASA වෙත සේවය සැලසීමට මඟ බලා සිටිනවා.” බිල් නෙල්සන්ගේ සුබ පැතුමට ප්‍රතිචාර දක්වමින් SpaceX නිර්මාතෘ ඊලෝන් මස්ක් සටහනක් එක් කර තිබුණා.

CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications