අඩි නවයක් දිග මෙන් ම පාද දුසිම් කිහිපයකින් සමන්විත ලොව විසූ විශාලතම ‘මකුණා’ගේ පෙනුම එතරම් භයානක නො වන්නට ඇති බව විද්‍යාඥයන් පවසනවා. විද්‍යාඥයන් හට උගේ හිසේ පෙනුම කෙසේ වන්නට ඇද්දැ යි දැනගත හැකි වන්නේ උපකල්පනවලින් පමණයි. මේ සතුන් ඉතිරි කර ගොස් ඇත්තේ හිස නැති, ෆොසිලගත වූ පිටත කටුව පමණක් වීම එයට හේතුවයි. විද්‍යාඥයන් සඳහන් කරන පරිදි අඩි 8ත් 9ත් අතර දිගකින් යුතු වන්නට ඇති මොවුන් බරින් කිලෝග්‍රෑම් 50ක් ඉක්මවන්නට ඇති.
නමුත් මෑතක දී කරන ලද අධ්‍යයනයකින් වැඩුණු සතුන්ගේ බොහෝ දුරකට හොඳ මට්ටමේ ඇති සංරක්ෂිත ෆොසිල විශ්ලේෂණය කළ විද්‍යාඥයන් ඔවුන්ගේ පෙනුම කෙසේ වන්නට ඇද්ද යන්න ගැන පැහැදිලි රූපයක් මවන්නට සමත් වී සිටිනවා.
Science Advances ජර්නලයේ පළ වූ මේ අධ්‍යයනයට අනුව මේ යෝධ මකුණු රූපියාගේ හිස කොටස බල්බාකාර හැඩයකින් යුක්තයි. එහි ඉදිරිපසින් කෙටි ස්පර්ශක දෙකක් පිහිටා තිබෙනවා. එසේ ම ඔවුන්ට තිබී ඇත්තේ කකුළුවෙකුගේ මෙන් පිටතට නෙරා ඇති ඇස් යුගලයක්. පර්යේෂකයන්ගේ උපකල්පනයට අනුව ශාක පත්‍ර ආහාරයට ගැනීමට සහ හඬ නැංවීමට හැකි පරිදි සාපේක්ෂ ව කුඩා කටක් ඔවුන්ට පිහිටා තිබෙනවා.
Arthropleura ගණයට ලා සැලකෙන මොවුන් අයත් ව සිට ඇත්තේ කකුළුවන්, මකුළුවන්, හැකරැල්ලන් සහ පත්තෑයන් අයත් ආත්‍රෙපා්ඩා වංශයටයි. “උන් හැකරැල්ලෙකුගේ වැනි සිරුරකිනුත්, පත්තෑයෙකුගේ වැනි හිසකිනුත් සමන්විත වූ බව අපි සොයාගත්තා.” අධ්‍යයනයේ සම කතුවරයෙකු වූ ප්‍රංශයේ Claude Bernard Lyon විශ්වවිද්‍යාලයේ පුරාජීවවිද්‍යාඥ Mickael Lheritier පවසනවා.
යුරොපයේ සහ උතුරු ඇමරිකාවේ පර්යේෂකයන් මේ සත්ත්ව විශේෂයට අයත් ෆොසිල කොටස් සහ පාස සලකුණු එක්රැස් කිරීම අරඹා ඇත්තේ 1800 ගණන්වල සිටයි. “මේ සතාගේ හිස කොයි වගේ ද කියලා දැක ගැනීමේ අරමුණින් අපි සෑහෙන කාලයක් බලා සිටියා.” අධ්‍යයනයේ කොටස්කරුවෙකු නො වන බටහිරි වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පුරාජීවවිද්‍යාඥ James Lamsdell සඳහන් කරනවා.
සත්ත්වයාගේ හිසේ අනුරුවක් තැනීම සඳහා පර්යේෂකයන් උපයෝගී කරගෙන ඇත්තේ 1980 දී ප්‍රංශයේ ගල් අඟුරු පතලකින් සොයා ගැනුණු ෆොසිල නිදර්ශකවල CT පරිලෝකනයි.
සෞන්දර්ය සෙනරත්