Home Science News Prada සමඟ එක් ව සැලසුම් කළ Artemis III චන්ද්‍රගාමී ඇඳුම

Prada සමඟ එක් ව සැලසුම් කළ Artemis III චන්ද්‍රගාමී ඇඳුම

by Sathya

2026 දී සිදු වීමට නියමිත Artemis III චන්ද්‍ර මෙහෙයුමේ දී චන්ද්‍රගාමීන් පැළඳීමට නියමිත අභ්‍යවකාශ ඇඳුම පසුගිය දා එළිදැක්වුණා. අඩසියවසකට පසු මිනිසා සඳ මත නැවත පා තැබීමේ ඓතිහාසික අවස්ථාවට උරුමකම් කියන මේ මෙහෙයුම සඳහා තවත් වාණිජ්‍යමය අභ්‍යවකාශ සමාගම් කිහිපයක ම සහාය NASA වෙත හිමි වනවා.

මේ මෙහෙයුමේ දී චන්ද්‍රයා මතට පා තබන විට ඇඳිය යුතු විශේෂිත ඇඟලුම නිමවීම සඳහා NASA විසින් තොරාගෙන තිබුණේ Axiom Space සමාගමයි. ඔවුන් එය නිමවා ඇත්තේ ලොව සුපතළ සුඛෝපභෝගී ඇඟලුම් විලාසිතා සන්නාමයක් වන Prada සමඟ එක් වයි. පසුගිය වසරේ මේ ඇඳුම සඳහා උපයෝගී කරගන්නා AxEMU
තාක්ෂණය මත පදනම් වූ කළු පැහැති මූලාකෘති අභ්‍යවකාශ ඇඳුමක් එළිදැක්වුණත්, එහි අවසාන පෙනුම කෙසේ වේ ද යන්න මෙතෙක් පැවතියේ රහසිගත වයි.

දැන් ඒ රහස එළි වී තිබෙනවා. Axiom සහ Prada එක් ව සැලසුම් කරන ලද ඇඳුමේ පෙනුම ඇපලෝ මෙහෙයුම්වල දී අඳින ලද ඇඳුම සිහිපත් කරවනවා. උණුසුම පරාවර්තනය කළ හැකි පරිදි එය පිරිසිදු සුදු පැහැයෙන් යුක්තයි.

“සීමාවලින් ඔබ්බට යාම සමාගමේ හර පද්ධතියේ කොටසක් වන අතර මගේ දෙමාපියන්ගේ දැක්මට අනුව Prada
සන්නාමයේ ජීවගුණය ද පිළිඹිබු කරනවා.” Pradaහි Lorenzo Bertelli සඳහන් කරනවා.

චන්ද්‍රයා මත ඇවිද යා හැකි පරිදි අභ්‍යවකාශ ඇඳුමක් සැලසුම් කිරීම අතිශය අභියෝගාත්මක කටයුත්තක්. චන්ද්‍ර දිනයක දී එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 121 දක්වා ඉහළ නඟින අතර රාත්‍රියේ දී සෙල්සියස් අංශක -133 දක්වා පහත බසිනවා. චන්ද්‍රගාමීන්ගේ ඇඳුම මේ උෂ්ණත්ව වෙනසට සාර්ථක ලෙස මුහුණ දිය යුතුයි. වායුරෝධක විය යුතු එය, අභ්‍යවකාශයේ පවත්නා විකිරණයෙන් ද චන්ද්‍රගාමීන්ගේ ජීවිතය රැකගත යුතුයි. සාමාන්‍ය මට්ටමේ වායු පීඩනයක් එතුළ පැවතිය යුතු අතර, ජීවාධාරක පද්ධතියකින් සහ සන්නිවේදනයට හා ගවේෂණයට අදාළ උපාංගවලින් ද යුක්ත විය යුතුයි.

AxEMU වාර ගණනාවක දී ම විවිධ පරීක්ෂණයන්ට භාජනය වී ඇති අතර එහි සංවර්ධනය අවසන් අදියරේ පවතින බව නිවේදනය කර තිබෙනවා. NASA, SpaceX හා Axiom Space එක් ව සිදු කරන ලද පීඩන පරීක්ෂණවලින් ද එය සමත් වී තිබෙනවා. මීළඟ පියවර වශයෙන් එය ජලය යට දී පරීක්ෂාකර බැලීමට නියමිතයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications