කුඩා ම ඩයිනොසෝර බිත්තරය හමු වෙයි

චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති කුඩා ම ඩයිනොසෝර බිත්තරය බව තහවුරු කරනවා. මීට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය දා Historical Biology ජර්නලයේ පළ වී තිබුණා.

මින් පෙර වාර්තා වූ ලොව කුඩා ම ඩයිනොසෝර බිත්තරය මිලිමීටර 45.5ක දිගකින් යුතු වුණා. කෙසේ නමුත් චීන විද්‍යාඥයන් සොයාගත් ඩයිනොසෝර බිත්තරය දිගින් මිලිමීටර 29ක් වනවා. එය හමු වී තිබුණේ 2021 වසරේ අග්නිදිග චීනයේ පිහිටි Ganzhou නගරයේ වූ ඉදිකිරීමේ ව්‍යාපෘති බිම්කඩකින්. මේ ප්‍රෙද්ශය ඩයිනොසෝර බිත්තර සොයාගැනීම සඳහා ලොව ඇති හොඳ ම ඉසව්වක් බවට පාෂාණධාතුවේදීන් අතර ප්‍රසිද්ධියක් උසුලනවා.

සැබැවින් ම මෙලෙස සොයාගැනුණේ තනි බිත්තරයක් පමණක් නො වීම ද විශේෂත්වයක්. බිත්තර හයක් තනි ඒකකයක් ලෙස ෆොසිල බවට පත් ව තිබෙනු ඉන් දැකගත හැකි වුණා.

වසර තුනක් තිස්සේ ඇදුණු විශ්ලේෂණවලින් පසු පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙන්නේ බිත්තර ඇතුළේ සිටිනා ජීවීන් පක්ෂීන්ට නෑකම් නො කියන තෙරාපෝඩ ඩයිනොසෝර විශේෂයකට අයත් බවයි. ඔවුන් පවසන පරිදි ඒවා අයත් වන්නේ අදින් වසර මිලියන 80කට පෙර පැවති ක්‍රිටේෂීය යුගයටයි.

සෞන්දර්ය සෙනරත්

Related posts

T. Rex ගේ කුඩා දෑත ශක්තිමත් හිස්කබලක් වෙනුවෙන් කළ පරිණාමීය කැපකිරීමක්

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි