Home Science News ප්‍රථම වරට හොංකොං කලාපයෙන් ඩයිනෝසෝර ෆොසිලයක් සොයාගැනේ

ප්‍රථම වරට හොංකොං කලාපයෙන් ඩයිනෝසෝර ෆොසිලයක් සොයාගැනේ

by Sathya

හොකොං නගරයේ කැණීමකින් ප්‍රථම වතාවට ඩයිනෝසෝර් ෆොසිල හමු වූ බව එහි බලධාරීන් පසුගිය දා වාර්තා කළා. හොංකොං රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ් ෆොසිල කොටස් අදින් වසර මිලියන 145ත් මිලියන 66ත් අතර ක්‍රිටේෂීය යුගයට අයත් දැවැන්ත ශරීරයකින් යුතු ඩයිනෝසෝරයෙකුට අයත් බවයි. එය අයත් ඩයිනෝසෝර විශේෂය කුමක් දැ යි නිශ්චිත වශයෙන් තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.

මේ ෆොසිල කොටස් සහිත පාෂාණය හමු වී තිබුණේ හොංකොං නගරයට අයත් යුනෙස්කෝ ගෝලීය භූ උද්‍යානයේ පිහිටි පොර්ට් දූපතේ තිබිය දීයි. මේ වන විට ඒ ෆොසිල හොංකොංහි වෙළෙඳ දිස්ත්‍රික්කයක ප්‍රදර්ශනය පිණිස තබා තිබෙනවා.

“මේ සොයාගැනීම අතිශය වැදගත් එකක් වනවා වගේ ම හොංකොංහි පාෂාණධාතු විද්‍යා ක්ෂේත්‍රයට අලුත් සාධක ද ඉදිරිපත් කරනවා” හොංකොංහි සංවර්ධන ලේකම් Bernadette Linn Hon-ho සඳහන් කරනවා.

ෆොසිල පිළිබඳ විශේෂඥයන් උපකල්පනය කරන්නේ ඩයිනෝසෝරයාගේ මළ සිරුර වැල්ලෙන් සහ බොරලුවලින් යට වී ගිය පසු ව ඇති වූ ගංවතුර තත්ත්වයකින් පසු යළි මතුපිටට නිරාවරණය වන්නට ඇති බවයි. ඉන් අනතුරු ව කාලයත් සමඟ නැවත වතාවක් යට වී යන්නට ඇති බව ඔවුන් සැක කරනවා.

හොංකොංහි චීන විශ්වවිද්‍යාලයේ පාෂාණධාතු විද්‍යාව පිළිබඳ මහාචාර්ය Michael Pittman පවසන්නේ මේ සොයාගැනීම නගර ඉතිහාසයේ අත්දකින සුවිශේෂ අවස්ථාවක් බවයි. එහි ඩයිනෝසෝර ෆොසිල සොයා දීර්ඝ වශයෙන් පර්යේෂණ සිදු වී තිබුණත් මෙතෙක් ෆොසිලයක් සොයාගන්නට හැකියාව ලැබී තිබුණේ නැහැ.

පදිංචිකරුවන් මිලියන 7.4ක් වෙසෙන, වර්ග කිලෝමීටර 1104ක වපසරියක් පුරා පැතිරී ඇති හොංකොං මහජන චීනයට අයත් විශේෂිත පරිපාලන කලාපයක් ලෙස පාලනය වනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications