Home Science News NASA ගගනගාමීන් අභ්‍යවකාශයේ සිට ඡන්දය දැමූ හැ‌ටි

NASA ගගනගාමීන් අභ්‍යවකාශයේ සිට ඡන්දය දැමූ හැ‌ටි

by Sathya

මේ වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ (ISS) රැඳී සිටින NASA ගගනගාමීන් වන Butch Wilmore, Suni Williams සහ Don Pettit, 2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා මැතිවරණ දිනයට පෙර කක්ෂයේ සිට ම ඡන්දය ප්‍රකාශ කළ බව ටෙක්සාස් ප්‍රාන්තයේ හැරිස් කවුන්ටියේ අධිකරණ ලිපිකාර කාර්යාලය සඳහන් කරනවා (Harris County Clerk of Court’s Office) . ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ දිනයේ ආරම්භ වූ අතර මේ වන විටත් ඊට අදාළ කටයුතු සිදු වෙමින් පවතිනවා.

අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින NASA ගගනගාමීන් ඇමරිකානු ධජයේ වර්ණවලින් යුතු “Proud to be American” යනුවෙන් සඳහන් මේස් කුට්ටම් පැලඳ ලබාගත් ඡායාරූපයක් ඊයේ අන්තර්ජාලයට එක් කර තිබුණා.

බෝයිංග් සමාගමේ Starliner කැප්සියුලයේ හටගත් දෝෂ සහගත තත්ත්වය මත ඉකුත් ජුනි මාසයේ සිට නැවතුම්පොළේ රැඳී සිටීමට සිදු වී තිබෙන Butch Wilmore, Suni Williams ට ළඟ ම ඇති ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉඩ ඇහිරීම අරුමයක් නො වෙයි. නමුත් ඔවුන් අභ්‍යවකාශයේ සිට නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටින බව මුල සිට ම දැකිය හැකි වුණා.

“පුරවැසියෙක් විදිහට ඡන්දය ප්‍රකාශ කිරීම අතිශය වැදගත් වගකීමක්. ඉතින් මම අභ්‍යවකාශයේ ඉඳන් ඡන්දය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නියම වැඩක් වේවි.” විලියම්ස් එසේ කීවේ පසුගිය සැප්තැම්බර් 13 දා අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට සජීව ලෙස මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්. “මම ඡන්දය සඳහා ඉල්ලීමක්, පොළොවට යොමු කළා. පුරවැසියන් වශයෙන් මැතිවරණ ක්‍රියාවලියට දායක වීම අප ඉටුකළ යුතු භූමිකාවක්. NASA අපට ඒක වඩාත් පහසු කරලා තියෙනවා” ඇය එහි දී සඳහන් කළා.

ඇමරිකානු ගගනගාමීන් හට අභ්‍යවකාශයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව හිමි ව තිබෙන්නේ 1997 වසරේ සිටයි. මෙහි දී අභ්‍යවකාශගත ව සිටින සියලු ඇමරිකානු පුරවැසියන් ජොන්සන්ස් අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටා ඇති ටෙක්සාස් ප්‍රාන්තයේ ඡන්ද දායකයන් හැටියට සැලකෙනවා. ඒ් වසරේ දී ටෙක්සාස්හි මැතිවරණ නීතිය සංශෝධනයට ලක් වූ අතර, “ඡන්ද දායකයෙකු වශයෙන් සුදුසුකම් සපුරා ඇති, එහෙත් පූර්ව ඡන්ද සමයේ (early-voting period) සහ මැතිවරණ දිනයේ අභ්‍යවකාශ පියාසැරියක නිමග්න වන්නට සිදු වන” අයට ද ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට වගන්තියක් එක් කෙරුණා.

ඒ අනුව 1997 වසරේ මුලින් ම අභ්‍යවකාශයේ සිට ඡන්දය ප්‍රකාශ කළ ගගනගාමියා වන්නට David Wolf සමත් වනවා. ඔහු ඒ මොහොතේ සිටියේ මීර් අභ්‍යවකාශ නැවතුම්පොළේ සිව්මස් මෙහෙයුමකට අනුයුක්ත වයි. එතැන් පටන් අවස්ථා ගණනාවක දී ම අභ්‍යවකාශයේ සිට ඡන්දය ප්‍රකාශ වී තිබෙනවා.

2004 වසරේ මෙලෙස ඡන්දය ප්‍රකාශ කළ NASA ගගනගාමී Leroy Chiao සඳහන් කර තිබුණේ එය අතිශය සරල ක්‍රියාවලියක් බවයි. ඔහු සඳහන් කර ඇති පරිදි ඡන්ද පත්‍රිකාව ගුප්තකේතනය කරන ලද word ලිපිගොනුවක් ලෙසින් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ඊමේල් කෙරෙනවා. එය විවර කළ හැක්කේ ගගනගාමියා පමණක් දන්නා මුරපදයකින්.

ඉන් අනතුරු ව පුරවන ලද විද්‍යුත් ඡන්ද පත්‍රිකාව නැවතත් ගුප්තකේතනයකින් අගුළු ලා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතියට ඇතුළු කෙරෙන අතර, දත්ත පිළියවන චන්ද්‍රිකා මාර්ගයෙන් නිව් මෙක්සිකෝවේ පිහිටි NASA වයිට් සෑන්ඩ්ස් පරීක්ෂණ මධ්‍යස්ථානය (White Sands Test Facility) වෙත සම්ප්‍රේෂණය කරනු ලබනවා. අනතුරු ව එය හූස්ටන්හි මෙහෙයුම් පාලනය (mission control) වෙත යැවෙන අතර අවසානයේ දී සුරක්ෂිත ලෙස ලිපිකාර කාර්යාලය වෙත භාර කෙරෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications