Home Science News ආසියානු යෝධ බඹරා ඇමරිකාවෙන් තුරන් කර දැමේ

ආසියානු යෝධ බඹරා ඇමරිකාවෙන් තුරන් කර දැමේ

by Sathya

‘මිනීමරු බඹරා’ හෙවත් murder hornet යනුවෙන් හැඳින්වෙන ආක්‍රමණික බඹර විශේෂය ඇමරිකා එක්සත් ජනපදයෙන් මුළුමනින් ම තුරන් කර දමා ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා. ඒ පසුගිය වසර තුනක කාලය ඇතුළත එම විශේෂයට අයත් එකදු බඹරෙකු හෝ ඇස ගැටුණු බවට වාර්තා වී නො තිබීම මතයි.

Vespa mandarinia යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන ආසියානු යෝධ බඹරා හෙවත් Nothern giant hornet නමැති මේ බඹර විශේෂයට ‘මිනීමරු බඹරා’ ලෙස අන්වර්ථ නාමයක් පටබැඳී තිබෙන්නේ ඔවුන් අතින් ඇමරිකාවේ වනසතුන්ගේ සහ මිනිසුන්ගේ සෞඛය අනතුරේ හෙළන බැවින්. ආසියාකරය නිජබිම කරගෙන සිටි මේ බඹරුන් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණියේ 2019 වසරේ දීයි. එතැන් පටන් බලධාරීන් උන් එරටින් තුරන් කර දැමීමට උත්සාහ දැමුවා.

ඒ අනුව ඉකුත් 18 වැනි බදාදා වොෂිංටන් ප්‍රාන්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (WSDA) සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) නිවේදනය කළේ මේ බඹර විශේෂය වොෂිංටන් ප්‍රාන්තයෙන් තුරන් කර දැමූ බවයි. ඇමරිකාව තුළ 2019 වසරේ සිට මිනීමරු බඹරුන් වාර්තා වී තිබුණේ වොෂිංටන් ප්‍රාන්තය තුළ පමණයි.

ආසියානු යෝධ බඹරාගේ ඇමරිකානු සම්ප්‍රාප්තියෙන් පසු එරට පරිසර පද්ධතිවල වෙසෙන අනෙකුත් කුඩා කෘමි විශේෂවලට සහ මී මැසි ගහනයට දැඩි තර්ජනයක් එල්ල වුණා. මෙහි දී සැලසුම් සහගත ලෙස බිඟුන් පසුපස හඹා ගොස් ඝාතක ප්‍රහාර එල්ල කරන අයුරු සහ ඉතා ම කෙටි කාලයකින් මී මැසි ජනපද ආක්‍රමණය කරනු ද දැකගත හැකි ව තිබුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications