Home Science News චීනයෙන් සොයාගත් කෝවිඩ්-19ට සමාන වයිරසය

චීනයෙන් සොයාගත් කෝවිඩ්-19ට සමාන වයිරසය

by Sathya

වවුලන් අතරේ පවතින අලුත සොයාගත් කොරෝනාවයිරස විශේෂයක් කෝවිඩ්-19 වසංගතය ඇති කළ SARS-CoV-2 වයිරසය මිනිස් සෛලවලට ඇතුළු වීමට යොදාගත් ප්‍රෝටීනයම උපයෝගී කරගන්නා බවත්, එය යම් දිනක මිනිසුන් අතර පැතිර යාමට ඉඩක් පවතින බවත් චීන පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ නමුත් Cell ජර්නලයේ වාර්තා වී ඇති පරිදි එය තව ම SARS-CoV-2 වයිරසය මෙන් මිනිසාට වැළඳිය හැකි පරිදි වර්ධනය වී නැහැ.

චීන වයිරස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ HKU5-CoV-2 ලෙස නම් කර ඇති මේ වවුල් වයිරසය ACE2 ප්‍රෝ‌ටීනය හරහා සෛලවලට ඇතුළු වන බවයි.

විද්‍යාගාර පර්යේෂණ මඟින් පෙනීගොස් තිබුණේ පරීක්ෂණ නලවල බහා ඇති සෛල අතරින් ACE2 ප්‍රෝටීනය බහුල අවස්ථාවල ආසාදනය වීම් බහුල වන බවයි. එසේ ම මිනිස් සිරුරේ බඩවැල් සහ ශ්වසන මාර්ග එහි බලපෑමට ලක් වන බව පෙනීගොස් තිබුණා.

වැඩිදුර පර්යේෂණවලින් මෙකී වයිරසයට ඉලක්කගත බලපෑම් එල්ල කළ හැකි ප්‍රතිදේහ සහ ප්‍රතිවයිරස ‌ඖෂධ මොනවා ද යන්න ද පර්යේෂකයන් යම් තරමකින් හඳුනාගෙන තිබෙනවා.

කෙසේ නමුත් ඇමරිකාවේ මිනිසෝටා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ ආචාර්ය මයිකල් ඔස්ටර්හෝම් පෙන්වා දෙන්නේ එන්නත්කරණයත් සමඟ ලෝක ජනගහනයෙන් සාතිශය බහුතරයක් SARS හා සමාන වයිරස සඳහා ප්‍රතිශක්තියකින් යුතු වන බැවින් මේ නව වයිරසය මිනිසුන් අතර පැතිර යාම සිදු වුව ද පෙර මෙන් දරුණු තත්ත්වයක් ඇති විය නො හැකි බවයි.

රොයිටර් ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications