Home Science News Falcon 9 බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ මැවූ සර්පිලය

Falcon 9 බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ මැවූ සර්පිලය

by Sathya

පසුගිය සඳුදා (24) රාත්‍රියේ එක්සත් රාජධානියට ඉහළ අහසේ දිදුලන සර්පිලාකාර රටාවක් දිස් වුණේ බොහෝ දෙනෙකුගේ අවදානය පැහැරගනිමින්. බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ විනාඩි කිහිපයක් දිස් වූ මේ විස්මයාවහ දර්ශනයේ මූලාශ්‍රය කුමක් ද යන්න ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනු දැකගත හැකි වුණා. ඇතැමුන් මෙය පිටසක්වළ ජීවීන්ගේ ක්‍රියාකාරක් බවට ද අදහස් පළ කර තිබුණා. කෙසේ නමුත් ඇත්ත වශයෙන් ම මේ ‘අභිරහස්’ සර්පිලයට වගකිව යුත්තේ SpaceX සමාගමයි.

මෙකී සර්පිලාකාර ආලෝක රටාව රෑ අහසේ මවා තිබුණේ, ඇමරිකානු රජයේ රහසිගත මෙහෙයුමක් දරමින් පසුගිය සඳුදා නැගෙනහිර වේලාවෙන් පස්වරු 13:50ට ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට උඩුගුවන් ගත වූ SpaceX සමාගමට අයත් Falcon 9 රොකට්ටුවයි. නැවත නැවත භාවිත කළ හැකි ලෙස සැලසුම්කර ඇති Falcon 9 රොකට්ටුවේ පළමු අදියර මඟින් රොකට්ටුව අභ්‍යවකාශය වෙත රැගෙන යනු ලැබීමෙන් පසු එහි දෙවැනි අදියර මඟින් අයබර නිවැරැදි කක්ෂය වෙත රැගෙන යනු ලබනවා. අයබර නිදහස් කිරීමෙන් පසු දෙවැනි අදියර යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට පෙර එහි අඩංගු ඉතිරි ව ඇති ඉන්ධන අභ්‍යවකාශය වෙත නිදහස් කර හරිනවා. රොකට්ටුව මෙසේ ඉන්ධන හැලීම සිදු කරන්නේ භ්‍රමණය වන අතරතුරයි. එනිසා ඉන් ඉන්ධන නිදහස් වන්නේ සර්පිලාකාර රටාවක් මවාපාමින්. ඉහළ වායුගෝලයේ පවතින අඩු උෂ්ණත්වය නිසා ක්ෂණයකින් ඉන්ධන බිඳු මිදීමට ලක් වන අතර ඉන් සූර්යාලෝකය පොළොව වෙත පරාවර්තනය කෙරෙනවා. අද්භූත ස්වරූපයෙන් අහසේ දිස්වන සර්පිලාකාර ආලෝක රටාවට හේතුව එයයි.

හර්ට්ෆෝඩ්ශර් විශ්වවිද්‍යාලයට අයත් බේෆෝඩ්බරි නිරීක්ෂණාගාරයේ ජ්‍යේෂ්ඨ තාක්ෂණ නිලධාරී ලෝඩ් ඩෝවර් සඳහන් කළේ බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 7:52 සිට විනාඩි 10ක පමණ කාලයක් මෙකී දර්ශනය අහසේ මැවෙමින් තිබූ බවයි. ක්‍රමක්‍රමයෙන් ඍජු ලෙස ඉදිරියට ඇදෙමින් ගමන් කළ එය ක්ෂිතිජ ඉමෙන් එහාට නො පෙනී ගොස් තිබුණා. ඒ පිටසක්වළ ආක්‍රමණයක් තරම් ත්‍රාසජනක නො වුණත්, කලෙක හිරු නො බසින අධිරාජ්‍යය ලෙස නම් දැරූ බ්‍රිතාන්‍යයට නවීන අභ්‍යවකාශ තාක්ෂණයේ විස්මිත බලපරාක්‍රමය පෙන්වා දෙමින්.

BBC සහ The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications