Home Science News “අපි හිරවෙලා හිටියෙ නෑ” බුච් සහ සුනී කියති

“අපි හිරවෙලා හිටියෙ නෑ” බුච් සහ සුනී කියති

by Sathya

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් අතිශය දේශපාලනික සන්දර්භයක් තුළ මොන තරම් අර්ථ නිරූපන දෙන්නට තැත් කළත් Starliner කැප්සියුලයේ පළමු නියමු පරීක්ෂණය සිදු කරමින් අභ්‍යකාශ නැවතුම්පොළ වෙත ගොස් මාස නවයක් රැඳී සිටින්නට සිදු වූ ගගනගාමීන් කිසි විටකත් එහි ‘සිර වී’ හෝ ‘තනි වී’ හෝ නො සිටි බව පැහැදිලියි.

අදෙසතියකට පෙර පොළොවට පැමිණි NASA ගගනගාමී බුච් විල්මෝර් සහ සුනී විලියම්ස් පසුගිය දා මාධ්‍ය හමුවකට පෙනී සිටියා. ඒ FOX News නාලිකාව සමඟ පැවැති තවත් සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුවයි. ඔවුන් මෙහි දී නැවත නැවතත් සඳහන් කළේ කිසිඳු අවස්ථාවක තමන් නො සලකා හැර ඇති බවක් හෝ ගලවාගැනීමක් අවශ්‍ය බව හෝ නො දැනුණු බවයි. ඔවුන්ගේ මේ කරුණු දැක්වීම ධවල මන්දිරය විසින් සිදුකරන ලද ප්‍රකාශයන් හා නො ගැළපෙන බව අවධානයට ලක් විය යුතුයි.

විල්මෝර් මෙහි දී සඳහන් කළේ ඔවුන් සිය මූලික මෙහෙයුමෙන් වියුක්ත ව සන්සුන් සිතින් නව අනුයුක්ත කිරීමට අනුගත ව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා යොමු වූ බවයි. “යමකට සැලසුම්ගත වී, තවත් යමකට සූදානම් වූ” බව විල්මෝර් සඳහන් කළා.

කක්ෂයේ සිටි කාලය අතරතුර දී සිදු කළ ඵලදායී ක්‍රියාකාරකම් පිළිබඳ මාධ්‍යය දැනුවත් කිරීම සඳහා NASA කැඳවා තිබූ මේ මාධ්‍ය හමුවේ දී නැඟුණු ප්‍රශ්නවලට සාර්ථක ව මෙන් ම ‘රාජතාන්ත්‍රික’ ස්වරූපයෙන් පිළිතුරු ලබා දෙන්නට ගගනගාමීන් දෙදෙනා කටයුතු කර තිබුණා.

“සිර වී හුදකලා වූ කතාව … ඔව්, අපි ඒ ගැන අහලා තිබුණා,” විල්මෝර් පැවසුවේ, ඔවුන්ගේ පුහුණුව සහ සූදානම ගැන මෙන් ම ඔවුන්ට Starlink නව අභ්‍යවකාශ යානා පරීක්ෂණ ගුවන් නියමුවන්ගේ භූමිකාවේ සිට සාමාන්‍ය ISS කාර්ය මණ්ඩල සාමාජිකයින් බවට බාධාවකින් තොරව මාරු වීමට ඉඩ සැලසුණු ආකාරය පිළිබඳව පරිස්සමින් වචන යෙදූ පැහැදිලි කිරීමකට යමින්. “අපි සැලසුම් කළ දේට වඩා සැලසුම බොහෝ දුර ඉවතට ගියා. නමුත් අපි නියමු අභ්‍යවකාශ ගමන්වල යෙදෙන නිසා, ඕනෑ ම තත්වයකට සූදානම් වෙනවා. මේක බොහෝ වංගු සහිත මාර්ගයක්. එය කොහෙට යයි ද කවදාවත් දන්නේ නැහැ,” ඔහු මෙහි දී තවදුරටක් පැවසුවා.

“හිර වුණා? හරි, අපි සැලසුම් කළ විදිහට ගෙදර එන්න බැරි වුණා. නමුත් විශාල චිත්‍රය දෙස බැලුවොත්, අපි හිර වෙලා හිටියේ නැහැ. අපි සැලසුම් කළා සහ පුහුණු වුණා.” මාධ්‍ය හමුවට පෙර FOX News සමඟ පැවති සාඛච්චාවේ දී සුනී විලියම්ස් සඳහන් කර තිබුණා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications