Home Science News වසර 130,000 පැරැණි මැමත් පැටවෙකු⁣ගේ සිරුරක් විච්ජේදනය කෙරේ

වසර 130,000 පැරැණි මැමත් පැටවෙකු⁣ගේ සිරුරක් විච්ජේදනය කෙරේ

by Sathya

රුසියානු විද්‍යාඥයන්, සයිබීරියානු නිත්‍ය තුහින පසෙහි සංරක්ෂණය වී තිබිය දී හමු වූ මැමත් පැටවෙකුගේ සිරුර විවෘත කර පරීක්ෂාකර බලා තිබෙනවා. අවුරුද්දක් වියැති බවට සැලකෙන මේ මැමත් පැටවාගේ සංරක්ෂිත සිරුර ‘යානා’ (Yana) ලෙස නම් කර ඇති අතර, එය සොයාගෙනු ලැබ තිබෙන්නේ ඉකුත් වසරේ දෙසැම්බරයේයි.

පර්යේෂකයන් පෙන්වා දී තිබූ පරිදි මෙතෙක් කලකට හමු වූ සංරක්ෂණය අතින් හොඳ ම තත්ත්වයේ පසු වූ මැමතා ‘යානා’ බවයි.
පර්යේෂකයන් යානා ගැන සමීප ව සොයාබැලීම සඳහා මෙලෙස සිරුර විච්ජේදනයට ලක් කර තිබෙනවා. පැය කිහිපයක් ගත වූ මෙම කටයුත්ත ඉකුත් මාර්තු මාසයේ දී සිදු ව ඇත්තේ යකුට්ස්කිහි උතුරු නැඟෙනහිර ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ පිහිටි මැමත් කෞතුකාගාරය තුළයි.

⁣මේ කාය විච්ජේදනය ‘අපගේ ග්‍රහලෝකයේ අතීතයට එබී බැලීමට ලැබුණු අවස්ථාවක්’ බව රුසියානු පරීක්ෂණ වෛද්‍ය විද්‍යායතනයේ ක්ෂුද්‍රජීව ප්‍රවේණිවිද්‍යා විද්‍යාගාරයේ ප්‍රධානී ආ⁣ර්ටෙමී ගොන්චාරොෆ් සඳහන් කරනවා.
‘යානා’ වසර දහස් ගණනක් තිස්සේ නිත්‍ය තුහිනයේ ගිලී තිබූ අතර, දේශගුණික විපර්යාස හේතුවෙන් එම හිම තට්ටු දිය වී යාම නිසා මතුපිටට නිරාවරණය වී තිබුණා.

යානාගේ සිරුර මීටර 1.2ක් උසින් යුතු වන අතර, බර කිලෝග්‍රෑම් 180ක් ලෙස වාර්තා වනවා. හිස සහ හොඬය යථා තත්ත්වයේ ම පවතින බව ⁣පෙනී ගොස් ඇති අතර, පර්යේෂකයන්ට කිසි දා පිටතට නො පැමිණි ළදරු වියේ දළ යුගල ද තවත් අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් කිහිපයක් හඳුනාගත හැකි ව තිබුණා.

යානා එතරම් බාල වියේ දී මියයාමට හේතුව කුමක් දැ යි හඳුනාගන්නට විද්‍යාඥයන් මෙතෙක් සමත් වී නැහැ. කෙසේ නමුත් හෝමෝ සේපියන්ලාගේ සම්බන්ධයක් ඊට නොමැති බව ඔවුන් ස්ථිරසාර ව ම පවසනවා. ඒ නවීන මිනිසුන් සයිබීරියාවට පැමිණියේ අදින් වසර 30,000කට පමණ ඉහත දී වීමත්, යානා මියගොස් ඇත්තේ ඊටත් වසර 100,000කට පමණ පෙර දී වීමත් හේතුවෙන්.

Live Science ඇසුරෙනි.

⁣සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications