Home Science News තායිවානයෙන් හමු වූ අස්ථි කොටසක් ඩෙනිසෝවන් මානවයාට අයත් බවට ඉඟියක්

තායිවානයෙන් හමු වූ අස්ථි කොටසක් ඩෙනිසෝවන් මානවයාට අයත් බවට ඉඟියක්

by Sathya

තායිවානයෙන් හමු වූ පුරාණ හකු අස්ථියක් ඩෙනිසෝවන් යනුවෙන් හඳුන්වන වැඩිමනක් තොරතුරු නො දන්නා මුල් මිනිස් විශේෂයකට අයත් බව විද්‍යාඥයන් පසුගිය දා වාර්තා කළා.

ඩෙනිසෝවන් මානවයන් ගැන ඉතා අල්ප දැනුමක් පමණක් ඇති අතර, ඔවුන් නියැන්ඩර්තාල්වරුන් සහ අපේ ම විශේෂය වන හෝමෝ සේපියන්ස් සමඟ අන්තර්ක්‍රියා කළ අතුරුදන් ව ගිබ මිනිස් ඥාති සමූහයක් ලෙස සැලකෙනවා. “ඩෙනිසෝවන් ෆොසිල ඉතා දුර්ලභයි,” යැ යි ජපානයේ Graduate University for Advanced Studies හි කටයුතු කරන, මෙකී සොයාගැනීම සිදු කරන ලද පර්යේෂණයේ සම-කර්තෘ ටකුමි ට්සුටායා පවසනවා.

නැගෙනහිර ආසියාවෙන් සොයාගෙන ඇත්තේ ඩෙනිසෝවන් මානවයන්ට අයත් ෆොසිල කිහිපයක් පමණයි. මේ වන විට හමු වූ ඩෙනිසෝවන් ෆොසිලවලට සයිබීරියාවේ සහ ටිබෙටයේ ගුහාවල හමු වූ අර්ධ හකු ඇට, දත් කිහිපයක් සහ ඇඟිලි ඇටයක කොටසක් ඇතුළත් වනවා. ලාඕසයේ ගුහාවක තිබී හමු වූ ෆොසිල ද ඩෙනිසෝවන්වරුන්ට අයත් විය හැකි බව සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා.

තායිවානයේ හකු ඇටය ඩෙනිසෝවන්ට අයත් බව හඳුනාගැනීම මෙකී පුරාණ මිනිසුන් ජීවත් වූ ප්‍රදේශය පුළුල් කරන බව ට්සුටායා පවසනවා.

මෙම අර්ධ හකු ඇටය මුලින් හමු ව තිබුණේ තායිවාන් සමුද්‍ර සන්ධිය අසල පෙන්ඝු නාලිකාවේ මසුන් මරමින් සිටි ධීවර යාත්‍රාවකටයි. එය පුරාවස්තු කඩයකට විකුණූ පසු, 2008 දී එකතුකරන්නෙකු විසින් මිලදී ගනු ලැබ ඇති අතර, පසු ව එය තායිවානයේ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කර තිබෙනවා.

එයට ඇලී තිබූ සමුද්‍ර අපෘෂ්ඨවංශීන්ගේ සංයුතිය මත පදනම් ව, මෙම ෆොසිලය ප්ලයිස්ටෝසීන යුගයට අයත් බව තීරණය කර තිබුණා. නමුත් එය කුමන මුල් මිනිස් විශේෂයකට අයත් ද යන්න මෙතෙක් පැවතියේ රහසක් ලෙසයි.

නමුත් මෑතක දී, තායිවානය, ජපානය සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන්ට මෙම අසම්පූර්ණ හකු ඇටයෙන් ප්‍රෝටීන් අනුපිළිවෙළ කිහිපයක් උපුටා ගැනීමට හැකියාව ලැබී තිබුණා. විශ්ලේෂණයකින් හෙළි වී ඇත්තේ සමහර ප්‍රෝටීන් අනුපිළිවෙළවල් සයිබීරියාවේ හමු වූ ඩෙනිසෝවන් ෆොසිලයකට සමානකම් කියන බවයි.

නව පර්යේෂණය බලාපොරොත්තු සහගත වුවත්, Smithsonian Institution හි Human Origins Project ව්‍යාපෘති අධ්‍යක්ෂ රික් පොට්ස් පවසන්නේ, තායිවාන් ෆොසිලය ඩෙනිසෝවන් ලෙස තහවුරු කිරීමට පෙර ඒ හා බැඳුණු තවත් වැඩිදුර දත්ත දැකීමට තමා කැමැති බවයි.

පර්යේෂණයට සම්බන්ධ නොවූ පොට්ස්, මේ අධ්‍යයනය “සමහර ප්‍රෝටීන අණු ලබා ගැනීමේ දී අපූරු කාර්යයක්” ඉටු කළ බව පැසසුමට ලක් කළ නමුත්, එවැනි කුඩා ද්‍රව්‍ය කොටසකින් සම්පූර්ණ චිත්‍රයක් නො ලැබෙනු ඇතැ යි ද අවධාරණය කරනවා.

එක් කාලයක දී, ඩෙනිසෝවන්, නියැන්ඩර්තාල්වරුන් සහ හෝමෝ සේපියන්ස් යන මිනිස් සමූහ තුනක් යුරේසියාවේ එකට ජීවත් වූ අතර ඇතැම් විට එකිනෙකා සමඟ බැඳුණු බව පර්යේෂකයෝ පවසනවා. “අපට අද ජීවත් වන සමහර මිනිසුන්ගේ DNA තුළ නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් අංග හඳුනාගත හැකි” යැ යි ට්සුටායා වැඩිදුරටත් සඳහන් කරනවා.

Associated Press ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications