Home Science News රොකට්ටුවේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය පෘථිවි නිරීක්ෂණ චන්‍ද්‍රිකාව විනාශයට

රොකට්ටුවේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය පෘථිවි නිරීක්ෂණ චන්‍ද්‍රිකාව විනාශයට

by Sathya

ඉන්දියාව, පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කිරීමට ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වුණා.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් නිපැයුණු EOS-09 චන්ද්‍රිකාව සතිශ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට උඩුගුවනට නැඟුණේ මෙරට වේලාවෙන් පෙරවරු 5.59ට පමණ. මේ සඳහා ISRO සතු Polar Satellite Launch Vehicle (PSLV) රොකට්ටුවක් යොදාගෙන තිබුණා. කෙසේ නමුත් රොකට්ටුව පොළොවෙන් එසැවී ගත වන 6 වැනි විනාඩියේ දී එහි තෙවැනි අදියරේ ඇති වූ දෝෂයක් හේතුවෙන් චන්ද්‍රිකාව ද සමඟ රොකට්ටුව විනාශයට පත් වුණා.

“PSLV අදියර හතරකින් යුත් රොකට්ටුවක්. දෙවැනි අදියර තෙක් සියල්ල සාමාන්‍ය අයුරින් සිදු වුණා.” ISRO සභාපති වී. නාරායනන් සිදුවීමෙන් පසු මාධ්‍යට ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා. “තුන්වන අදියරේ මෝටරය නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණා. ඒත් තුන්වන අදියරේ ක්‍රියාකාරිත්වය පවතිද්දී [යම් අසාමාන්‍යතාවක්] දිස් වුණා. මෙහෙයුම සම්පූර්ණ කිරීමට නො හැකි වුණා. විශ්ලේෂණයකින් පසු අපි නැවත හේතු දක්වන්නම්.”

EOS-09 සාර්ථක ලෙස කක්ෂගත කරීමට හැකි වුණි නම් එය ඉන්දියාව විසින් කක්ෂගත කරන ලද පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා මාලාවේ නව වැන්න ලෙස දායකත්වය සැපයීමට නියමිත ව තිබුණා. SAR රේඩාර් පද්ධතියකින් සමන්විත වූ චන්ද්‍රිකාව දිවා රාත්‍රී භේදයකින් තො⁣ර ව වලා වියන විනිවිද පොළොව නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුතු වුණා.

කිලෝග්‍රෑම් 1,694ක බරින් යුතු වූ එය PSLVහි ඉහළ අදියර පොළොවේ සිට කිලෝමීටර 535 ක උන්නතාංශයට ළඟා වූ විට – එනම් සමස්ත පියාසැරියේ 18 වැනි විනාඩියේ දී – කක්ෂගත වීමට නියමිත ව තිබුණා.

මෙහෙයුම දියත් වීමට පෙර ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ නව චන්ද්‍රිකාවේ ක්‍රියාකාරිත්වය ඉන්දු-පාකිස්ථාන සහ ඉන්දු-චීන දේශසීමා ගැන දැඩි අවධානයෙන් පසු වීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

ISRO සහ Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications