Home Science News චීනයෙන් අභ්‍යවකාශගත සුපිරි පරිගණක චන්ද්‍රිකා පද්ධතියක්

චීනයෙන් අභ්‍යවකාශගත සුපිරි පරිගණක චන්ද්‍රිකා පද්ධතියක්

by Sathya

චීනය විසින් සිය අපේක්ෂිත අභ්‍යවකාශ පාදක කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකය තැනීමේ වැඩකටයුතු ආරම්භ කරමින් ඊට අයත් පළමු චන්ද්‍රිකා පොකුර ඉකුත් දා සාර්ථක ලෙස අභ්‍යවකාශගත කරනු ලැබුණා.

ක්ෂුද්‍ර චන්ද්‍රිකා 12ක් මෙසේ උඩුගුවන්ගත කරනු ලැබුණු අතර ඉදිරියේ දී එය චන්ද්‍රිකා 2,800කින් සමන්විත චන්ද්‍රිකා පොකුරක් දක්වා වර්ධනය කිරීමට ව්‍යාපෘතියට ප්‍රමුඛත්වය ගත් ADA Space සහ Zhejiang Lab සඳහන් කර තිබෙනවා. අභ්‍යවකාශයේ සිට ම දත්ත සැකසීමට සමත් මෙකී චන්ද්‍රිකා පද්ධතිය හැඳින්වෙන්නේ Three-Body Computing Constellation නමින්.

මුල් චන්ද්‍රිකා 12ක පොකුර ඉකුත් 14 වැනි දා චීනයට අයත් Long March 2D රොකට්ටුවක ආධාරයෙන් උඩුගුවන්ගත කෙරෙුණා. ඒ චීනයේ ජියුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිටයි.

මෙම චන්ද්‍රිකා පද්ධතිය දත්ත සැකසුම් කරන අතරවාරයේ සිසිලන ක්‍රමවේදය ලෙස භාවිත කරන්නේ අභ්‍යවකාශයේ පවතින ශුන්‍යත්වය තුළ ඇති සීතලයි. චීන රජය සඳහන් කර ඇති පරිදි පද්ධතිය සම්පූර්ණ වූ පසු තත්ත්පරයට මෙහෙයුම් ක්වින්ටිලියනයක වේගයෙන් ගණනය කිරීම් සිදු කළ හැකියි.

“ඔබේ ලැප්ටොප් පරිගණකය, ජංගම දුරකතනයට සීමා නොවී, කෘත්‍රිම බුද්ධිය අභ්‍යවකාශයට රැගෙන යන්නේ කෙසේ දැ යි සිතීමට දැන් කාලය එළැඹ තිබෙනවා” යැ යි Zhejiang Labහි අධ්‍යක්ෂ වැං ජියාන් සඳහන් කරනවා.

වර්තමානයේ GPS පද්ධතීන්, දේශගුණික සංවේදක, දුරේක්ෂ, කාලගුණ පුරෝකථන ආදී සියල්ල කක්ෂගත යානා සිදුකරන නිරීක්ෂණ මත රඳා පැවතියත් ඒවායේ දත්ත සැකසීම සිදුවන්නේ පොළොවට එවීමෙන් පසු වයි. චීනයේ නව උත්සාහය මේ ව්‍යායාමයන් සියල්ල වේගවත් හා කාර්යක්ෂම කිරීමේ පදනම දමනු ඇති බව විද්වත් මතයයි.

Live Science ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications