Home Science News Resilience සඳ මතට කඩාවැටෙයි

Resilience සඳ මතට කඩාවැටෙයි

by Sathya

අද පෙරවරුවේ සඳ මතට ගොඩබැසීමට නියමිත ව තිබූ ජපානයේ Resilience චන්ද්‍ර ලෑන්ඩරය සඳ මතට කඩා වැටෙන්නට ඇතැ යි විශ්වාස කරන බව එය නිපදවූ ispace සමාගම නිවේදනය කරනවා.

යානය චන්ද්‍රයා වටා කක්ෂයක කිලෝමීටර 100ක උන්නතාංශයකින් ගමන් කරමින් තිබූ බව ispace තහවුරු කරනවා. අනතුරුව ගොඩබැසීමේ කටයුතු ආරම්භ කරමින් කිලෝමීටර 80ක් පහතටවිත් සඳ මතුපිට සිට කිලෝමිටර 20ක උසකට අවතීර්ණ වී ඇති අතර ගොඩබැසීම සඳහා සිය ප්‍රධාන එන්ජිම පණගන්වා තිබෙනවා.

කෙසේ නමුත් එකවරම යානයත් සමඟ තිබූ සබඳතාව බිඳවැටී තිබෙනවා. ispace සමාගම තහවුරු කළ පරිදි එම මොහොතේ යානය චන්ද්‍ර පෘෂඨයට කිලෝමිටර 20ක් ඉහළින් ‘ආසන්න ව සිරස්’ (nearly vertical) පිහිටීමක සිට තිබෙනවා.

ගොඩබැසීමට පෙර සිය තිරස් පිහිටීම සිරස් ආකාරයට සකසා ගැනීම සඳහා විශේෂිත හැරීමේ ක්‍රයාවලියක් සිදු කිරීම අපේක්ෂිත ව පැවතියා.

ispace සමාගම පවසන්නේ චන්ද්‍ර පෘෂ්ඨයට ඇති දුර ප්‍රමාණය මැනීම සඳහා යොදාගත් ලේසර් සංවේදකයට නිසි වේලාවට කක්ෂගත දත්ත නො ලැබීම හේතුවෙන් එයට උන්නතාංශය මැනීමට ඇති හැකියාව මොට වූ බවයි.

“එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලෑන්ඩරයට සැලසුම් කළ චන්ද්‍ර ගොඩබැසීමට සරිලන ආකාරයේ වේග මන්දනයකට අවතීර්ණ වීමට නො හැකි වුණා. මේ තත්ත්වයන් සලකා බලා ලෑන්ඩරය සඳ මතට රළු ගොඩබෑමක් සිදු කරන්නට ඇති බව උපකල්පනය කෙරෙනවා.” සමාගම නිවේදනය කරනවා.

ispace සමාගම විසින් යවනු ලැබූ පළමු චන්ද්‍ර ලෑන්ඩරය වන HAKUTO-R M1 ද 2023 වසරේ දී ගොඩබෑමට යාමේ දී චන්ද්‍ර පෘෂ්ඨය මතට කඩා වැටී විනාශයට පත් වුණා. Resilience යැවුණේ පළමු වර සාක්ෂාත් කරගැනීමට නො හැකි වූ ජයග්‍රහණය ළඟා කරගැනීමේ අරමුණින්.

සියල්ල යහපත් අයුරින් සිදු වුණි නම් අද දිනයේ දී Resilience ලෑන්ඩරය එය සතු ව පවතින ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍ර රෝවරය ද සමඟින් සඳේ උතුරු අර්ධගෝලයේ පිහිටි පාෂාණමය තැනිතලා පෙදෙසක් වන Mare Frigoris හෙවත් ‘සීතල සාගරය’ මතට සුමට ගොඩබැස්මක් සිදුකරන්නට නියමිත ව තිබුණා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications