Home Science News අඟහරු මතින් හමු වූ ජෙ⁣සෙරෝ මොන්ස් යමහල

අඟහරු මතින් හමු වූ ජෙ⁣සෙරෝ මොන්ස් යමහල

by Sathya

රතු ග්‍රහයා මත ඇති යමහලක් බවට සැක කෙරෙන පිහිටීමක් හඳුනාගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අඟහරුගේ ජසෙරෝ ආවාටයේ බටහිර ඉවුර ආසන්නයේ පිහිටා ඇති මෙය හඳුනාගැනීම සඳහා සහාය වී ඇත්තේ NASA ආයතනයේ පර්සවරන්ස් රෝවරයයි.

2021 වසරේ ජෙසෙරෝ ආවාටයට ගොඩබට පර්සවරන්ස් රෝවරය ක්‍රමානුකූල ව වසර බිලියන 3කට ඉහත දී ගලා ගියේ යැ යි සැලකෙන ගඟක් දිගේ එහි බටහිර ඉවුර වෙත ළඟා වුණා. රෝවරය 2030 ගණන්වල දී යළි පොළොව වෙත යැවීම සඳහා එහි මතුපිට ඇති පස් හා පාෂාණ සාම්පල එක්රැස් කිරීම සිදුකළ අතර, ඒ අතර වූ ඇතැම් සාම්පල කොටස් යමහල්වලින් හටගත් ස්වභාවයක් පෙන්නුම් කරන බව පෙනී ගොස් තිබුණා.

මේ සියල්ල අවධානයට ගනිමින් ඇමරිකාවේ ඇට්ලැන්ටාහි පිහිටි ජෝර්ජියා තාක්ෂණ ආයතනයේ (Georgia Institute of Technology) James Wray ප්‍රමුඛ පර්යේෂකයන් මේ පාෂාණ සමඟ පෑහෙන මූලයක් සොයාගෙන තිබෙනවා. ඒ ජෙසෙ⁣රෝ ආවාට ඉවුරේ ගිනිකොණ දෙසින් පිහිටි ජෙසෙරෝ මොන්ස් (Jezero Mons) නමැති අක්‍රීය ගිනිකන්දයි.

අඟහරු වටා කක්ෂගත චන්ද්‍රිකාවලින් ලබාගැනුණු අධි-විභේදන ඡායාරූපවලින් හෙළි වී ඇත්තේ මේ කන්දේ මුදුන යමහලකින් නිකුත් වන අළු කැබලිවලට සමාන පාෂාණවලින් සමන්විත බවයි. ජෙසරෝ මොන්ස් කන්ද කිලෝමීටර 21ක් පළලින් ද, කිලෝමීටර 2ක් උසින් ද යුතු වන අතර, එය පෘථිවියේ ඇති යමහල්වල ප්‍රමාණයන්ට ද සමානකම් දක්වනවා.

ජෙසෙ⁣රෝ මොන්ස් අවට ඇති ආවාට වෙත අවධානය යොමු කරන ජේම්ස් ඇතුළු කණ්ඩායම අනුමාන කරන්නේ එය අදින් වසර බිලියනයකට පෙර අවසන් වරට විදාරණය වන්නට ඇති බවයි.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications