Home Science News Axiom Space සිව්වැනි මෙහෙයුම දියත් වෙයි

Axiom Space සිව්වැනි මෙහෙයුම දියත් වෙයි

by Sathya

Axiom Space සමාගමේ සිව්වැනි අභ්‍යවකාශ මෙහෙයුම SpaceX Falcon 9 රොකට්ටුවක ආධාරයෙන් ඊයේ උදෑසන සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා. මේ ඔස්සේ ඇමරිකාව, හංගේරියාව, ඉන්දියාව සහ පෝලන්තය නියෝජනය කරන ගගනගාමීන් සිව් දෙනෙක් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත රැගෙන යනු ලැබුණා.

හූස්ටන්හි පිහිටා ඇති Axiom Space, නැඟී එන අභ්‍යවකාශ සංචාර ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් ලෙස හැඳින්විය හැකියි. එය තමාගේ ම රොකට් යන්ත්‍ර තැනීම වෙනුවට සිදුකරන්නේ විවිධ රටවලට අභ්‍යවකාශය වෙත යාම සඳහා අයකිරීම් සහිත ප්‍රවාහන පහසුකම් සලසා දීමයි.

මෙම ක්‍රමවේදය තමාට ම කියා අභ්‍යවකාශ වැඩපිළිවෙළක් නොමැති රටවලට ද අභ්‍යවකාශයට පිවිසීමේ වරම් ලබාදෙනවා. උදාහරණයක් ව⁣ශයෙන් මෙවර Axiom Space මෙහෙයුමට සම්බන්ධ වී සිටින හංගේරියාව, ඉන්දියාව සහ පෝලන්තය යන රටවල් තුනේ ගගනගාමීන් මින් පෙර කිසිදාක ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ පයගසා නැහැ. මෙවර මෙහෙයුමේ නියමුවා වන ඉන්දියානු ජාතික ශුභාන්ෂු ශුක්ලා (Shubhanshu Shukla) මෙහි දී ලබන අත්දැකීම් ඉන්දීය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ද ඉවහල් වනු ඇති. පෝලන්තයේ අභ්‍යවකාශගාමියා වන ස්ලාවෝස් යුස්නාස්කි-විස්නෙව්ස්කි (Slawosz Uznanski-Wisniewski) අතර ඔහු CERNහි ඉංජිනේරුවෙකු මෙන් ම විද්‍යාඥයෙකු ද වනවා. හංගේරියාවේ අභ්‍යවකාගාමියා වන තිබෝර් කාපු (Tibor Kapu) වෘත්තියෙන් කාර්මික ඉංජිනේරුවරයෙකු වනවා. Axiom Space මෙහෙයුම සඳහා මොවුන් තිදෙනාගේ වියදම දරා ඇත්තේ සිය රටවල රාජ්‍යයන් මඟින්.

NASA ආයතනයේ හිටපු ගගනගාමිනියක මෙන් ම ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ කමාන්ඩර්වරිය ලෙස දෙවරක් කටයුතු කළ පෙගී විට්සන් (Peggy Whitson) මෙම මෙහෙයුමේ ප්‍රධාන අණදෙන නිලධාරිනිය ලෙස කටයුතු කරනවා.

ඔවුන් සිව්දෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ තවත් දෙසතියක කාලයක් ගත කිරීමට නියමිතයි.

The New York Times ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications