Home Science News සෙනසුරු ප්‍රමාණයේ බහිර් වායු දැවැන්තයෙකුගේ ඍජු ඡායාරූපකරණයක්

සෙනසුරු ප්‍රමාණයේ බහිර් වායු දැවැන්තයෙකුගේ ඍජු ඡායාරූපකරණයක්

by Sathya

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් ඈතින් තාරකාවක් වටා පරිභ්‍රමණය වන සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු බහිර් ග්‍රහලෝකයක ඍජු ඡායාරූපකරණයක් සිදුකර තිබෙනවා.

TWA 7b නම් වන මේ ග්‍රහලෝකය නිරීක්ෂණයන්ට බඳුන් කිරීමේ දී පෙනීගොස් ඇති පරිදි, එය ගමන්ගන්නා කක්ෂය වැටී ඇත්තේ තරුව අවට විසිරී පවතින දිලිසෙන සුන්බුන් කොටස් ගහන කලාපයක් තුළිනුයි.

සෙනසුරුගේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ඇති මෙම ග්‍රහලෝකය, මීට පෙර ඍජු ව නිරීක්ෂණය කළ ඕනෑ ම බහිර් ග්‍රහලෝකයකට වඩා 10 ගුණයකින් අඩු බරකින් යුක්ත වන අතර, යොවුන් වියේ පසුවන ග්‍රහලෝක පද්ධති පිළිබඳ අධ්‍යයනයට නව අවස්තාවක් ලබාදෙනවා.

“මෙහි දී අපි වසර මිලියන 6ක් පමණ වයසැති පද්ධතියක් දකිනවා. එබැවින් අපි ඇත්තෙන් ම අපි දකින්නේ ග්‍රහලෝක පද්ධතියේ තරුණ භාවයයි.” මෙකී නිරීක්ෂණය මෙහෙයවූ පැරිස් නිරීක්ෂණාගාරයේ තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය ඇන්-මාරි ලැග්‍රාන්ජ් පවසනවා.

1992 දී පළමු බහිර් ග්‍රහලෝකය සොයාගැනීමෙන් පසු, මේ වන විට තවත් 6,000කට ආසන්න ග්‍රහලෝක සංඛ්‍යාවක් සොයාගෙන ඇති නමුත්, මේවායින් බහුතරයක් හඳුනාගෙන ඇත්තේ ග්‍රහලෝකයේ සෙවනැල්ල එහි තාරකාවේ මුහුණත් හරහා ගමන් කිරීම වැනි වක්‍ර ක්‍රම හරහායි.

බහිර් ග්‍රහලෝක ඍජු ව රූපගත කිරීම තවමත් පවතින්නේ විශාල අභියෝගයක් ලෙසයි. මන්ද ඒවා තම මව් තාරකාවට වඩා බෙහෙවින් අඩු ආලෝකයක් නිකුත් කරන බැවින් සහ පෘථිවියේ සිට බැලූ විට තාරකාවට ඉතා ආසන්නව පිහිටා ඇති බැවින්. මෙය ජය ගැනීමට, ලැග්‍රාන්ජ් සහ සගයන් විසින් තාරකාවේ ආලෝකය වසා දැමීමට හැකි ග්‍රහණයක බලපෑමක් ඇති කරන දුරේක්ෂ උපකරණයක් නිර්මාණය කළා.

මෙය ඔවුන්ට TWA7 තාරකාව “ධ්‍රැවීයව” – එනම් එහි ග්‍රහලෝක තැටිය ඉහළ සිට බලන ආකාරයකින් නිරීක්ෂණය කර රූපගත කිරීමට ඉඩ සලසනවා.

මෙම ග්‍රහලෝකය සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු වායුමය යෝධයකු ලෙස සැලකෙන අතර, ඍජු රූපගත කිරීමෙන් නිරීක්ෂණය කරන ලද අඩුම ස්කන්ධයකින් යුතු ග්‍රහලෝකය ලෙස සැලකෙනවා. පෘථිවිය සූර්යයාගෙන් ඇති දුරට වඩා 50 ගුණයක් සිය තාරකා ඈතින් පිහිටි TWA 7b හි භ්‍රමණ කාලය වසර සිය ගණනක් වනවා.

The Guardian ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications