Home Science News ලොව විශාලතම අංශු ත්වරකය ප්‍රථම වතාවට ප්‍රෝටෝන සහ ඔක්සිජන් ඝට්ටනය කරයි

ලොව විශාලතම අංශු ත්වරකය ප්‍රථම වතාවට ප්‍රෝටෝන සහ ඔක්සිජන් ඝට්ටනය කරයි

by Sathya

ලොව විශාලතම අංශු ත්වරකය යොදාගනිමින් පළමු වරට ප්‍රෝටෝන සහ ඔක්සිජන් අයන ඝට්ටනය කිරීමට CERN හි විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මෙය ප්‍රෝටෝන–ඔක්සිජන්, ඔක්සිජන්–ඔක්සිජන් සහ නියෝන්–නියෝන් අයන අතර සිදු කිරීමට නියමිත ඓතිහාසික ඝට්ටන මාලාවක එක් අදියරක් බව සඳහන්.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි CERN හි Large Hadron Collider (LHC) යනු, පාලිත තත්ත්වයන් යටතේ ඇති අංශු ආලෝකයේ වේගයට ආසන්න ව ත්වරණය කර ඒවා එකිනෙක ඝට්ටනය කිරීමට හැකි ලොව ඇති එක ම යන්ත්‍රයයි.

දැන් ලෝකයේ විශාලතම සහ බලවත්ම අංශු ත්වරකය වන එය යොදාගනිමින් සිදු කෙරෙන නවතම අත්හදා බැලීම් මාලාව සඳහා, විශේෂ මෙහෙයුම් අවධියකට ඇතුළත් වී තිබෙනවා. ජුනි 29 දා සිට ජුලි 09 දා දක්වා සිදු කෙරෙන මේ අත්හදාබැලීම් මාලාවට ප්‍රෝටෝන–ඔක්සිජන් අයන ගැටුම් සඳහා දින දෙකක්, ඔක්සිජන්–ඔක්සිජන් ගැටුම් සඳහා දින දෙකක් සහ නියෝන්–නියෝන් ගැටුම් සඳහා එක් දිනක් ඇතුළත් වනවා.

මේ අත්හදාබැලීම් මඟින් ශ්වයේ වඩාත් මූලික සංසිද්ධි පිළිබඳ නව තීක්ෂ්ණ බුද්ධියක් ලබා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. අන්තරීක්ෂ කිරණවල ස්වභාවය, බලවත් න්‍යෂ්ටික බලයේ හැසිරීම සහ මහා පිපිරුමෙන් (Big Bang) තත්පර මිලියනයකින් පසු විශ්වය පුරවා දැමූ ක්වාර්ක්–ග්ලුවොන් ප්ලාස්මාවේ (QGP) ගුණාංග ආදිය මින් අනාවරණය කරගැනීම අපේක්ෂිතයි.

CERN හෙළි කළේ, අංශු භෞතික විද්‍යාවේ උද්වේගකර නව පරිච්ඡේදයක් සනිටුහන් කරන මෙම පර්යේෂණා මාලාව වසර ගණනාවක් පුරා සිදු වූ සූදානම් කිරීමේ ක්‍රියාවලියක උච්චස්ථානය බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications