Home Science News ඇටක⁣ටු මුළුමනින් ජීර්ණය කළ හැකි සෛල විශේෂයක් පිඹුරන් තුළ ඇති බව සොයාගැනේ

ඇටක⁣ටු මුළුමනින් ජීර්ණය කළ හැකි සෛල විශේෂයක් පිඹුරන් තුළ ඇති බව සොයාගැනේ

by Sathya

බුරුම පිඹුරන් හෙවත් Python bivittatus පිඹුරු විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති විශේෂිත සෛල විශේෂයක් ගොදුරු ලෙස ගන්නා ආහාර තුළ ඇති අස්ථි ජීර්ණය කර ඒවා කැල්සියම් බවට පත් කිරීමට උපකාරී වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මේ විලෝපිකයන් හට මුළු ගොදුර ම එක්වර ගිල දැමීමේ සහ ජීර්ණය කිරීමේ හැකියාව ලැබී ඇත්තේ මේ නිසා බව පෙනී ගොස් තිබෙනවා.

ඉකුත් ජුනි 25 වැනි දා මේ සොයාගැනීමට අදාළ පර්යේෂණ පත්‍රිකාව Journal of Experimental Biology ජර්නලයේ පළ වුණා.

බුරුම පිඹුරන්හට සෑම දිනක ම ආහාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන්නේ නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් කුරුල්ලන් සහ කුඩා ප්‍රමාණයේ ක්ෂීරපායී සතුන් ගොදුරු කරගන්නවා. මෙම සර්පයන් තම ගොදුරු මුළුමනින් ම ගිල දමා, ආහාරය ජීර්ණය වන තෙක් දින කිහිපයක් ගත කර, ඉන්පසු නැවත දඩයම් කිරීම සිදුකරනවා.

ආහාර ජීර්ණය පහසු වීම සඳහා පිඹුරන් සිය ගොදුරේ ඇටකටු බිඳ දැමීම සිදුකරනවා. මේ ඇටකටු මඟින් ඔවුන්ගේ පෝෂණයට වැදගත් වන කැල්සියම් ලබා ගැනෙනවා. කෙසේ නමුත් මේ කැල්සියම් සියල්ල ම පිඹුරාට වැදගත් වන්නේ නැහැ.

“අපිට ඔවුන් මෙම බඩවැල් බිත්තිය හරහා විශාල කැල්සියම් අවශෝෂණය කර සැකසීමට සහ සීමා කිරීමට හැකි වූ ආකාරය හඳුනා ගැනීමට අවශ්‍ය වුණා” පර්යේෂණයේ සම-කතුවරයා වන ප්‍රංශයේ මොන්පෙලියර් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ජෙහාන්-හර්වේ ලිග්නොට් ප්‍රකාශ කරනවා.

සර්පයන් ඔවුන්ගේ කැල්සියම් ග්‍රහණය කළමනාකරණය කළ ආකාරය පරීක්ෂා කිරීම සඳහා, පර්යේෂකයන් බුරුම පිඹුරන් හට ආහාර වර්ග තුනකින් එක බැගින් ලබා දුන්නා. එනම් සාමාන්‍ය ආහාරයක් ලෙස සම්පුර්ණ ගොදුරක්; ඇටකටු රහිත අඩු-කැල්සියම් ආහාරයක්; සහ ඇටකටු රහිත ගොදුරු සහ කැල්සියම් අතිරේකයක් සහිත ආහාරයක්. ආහාර වේල කිහිපයකින් පසු, කණ්ඩායම සර්පයන්ගේ බඩවැල් මත එක් එක් ආහාර පාලනයේ බලපෑම් අධ්‍යයනය කළා.

කණ්ඩායමට පෙනීගොස් තිබුණේ, පිඹුරන්ගේ බඩවැල් ආවරණයේ ඇති පටු, විශේෂිත සෛල ඇටකටු ජීර්ණය කිරීමේ දී භූමිකාවක් ඉටු කළ බවයි. මුළු ගොදුරු හෝ ඇටකටු රහිත ගොදුරු සමඟ කැල්සියම් අතිරේකයක් ආහාරයට ගත් සර්පයන් තුළ ඇති මෙකී සෛලවල කැල්සියම්, යකඩ සහ පොස්පරස්වලින් සමන්විත අංශු තිබී හමු වුණා. නමුත් ඇටකටු රහිත ගොදුරු පමණක් ආහාරයට ගත් සර්පයන් තුළ මෙම අංශු තිබී හමුවුණේ නැහැ.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications