Home Science News සහරා කතරින් හමු වූ උල්කාෂ්ම දෙකක් බුධ ග්‍රහයාගේ සිට පැමිණි බවට සැකයක්

සහරා කතරින් හමු වූ උල්කාෂ්ම දෙකක් බුධ ග්‍රහයාගේ සිට පැමිණි බවට සැකයක්

by Sathya

2023 වසරේ සහරා කාන්තාරයෙන් හමු වූ උල්කාෂ්ම දෙකක් මෙහි පැමිණෙන්නට ඇත්තේ බුධ ග්‍රහයාගේ සිට බව පර්යේෂකයන් සැක පළ කරනවා. ඔවුන් නිවැරැදි නම්, ඒවා සෞරග්‍රහ මණ්ඩලයේ ඇතුළතින් ම පිහිටි ග්‍රහයාගෙන් පැමිණි බවට හඳුනාගැනෙන පළමු පාෂාණ බවට පත් වනු ඇති.

බුධ ග්‍රහයා සැලකෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ඇති ග්‍රහලෝක අතරින් විද්‍යාත්මක අධ්‍යයනයට අවම වශයෙන් ලක් වූ ග්‍රහයා ලෙසයි. හිරුට ආසන්නයෙන් ම ඇති ග්‍රහයා වීම හේතුවෙන් එය වෙත යානා යැවීම ද සාපේක්ෂ ව අභියෝගාත්මක කාර්යයක් වනවා. මේ දක්වා බුධ දක්වා ගොස් තිබෙන්නේ 1973 දියත් වූ Mariner 10 සහ 2004 දියත් වූ Messenger යානා ද්විත්වය පමණයි. තුන් වැනි යානය වන BepiColombo මේ වන විට එහි යමින් සිටින අතර එය ලබන වසර අවසානයේ එහි ළඟා වීමට නියමිතයි.

බුධගේ සංයුතිය සහ භූ සැකැස්ම ගැන ග්‍රහ විද්‍යාඥයන් සතු ව ඇත්තේ සාපේක්ෂ ව සීමිත දැනුමක්. එසේ ම මින් පෙර පෘථිවියට ඇද වැටුණු බුධ ග්‍රහයාගේ සම්භවය ලැබූ උල්කාෂ්මයක් අධ්‍යයනය කිරීමට ඔවුන්ට අවස්තාවක් ලැබී තිබුණේ ද නැහැ. අඟහරුගේ සහ සඳේ සිට පැමිණි බවට සැක කෙරෙන උල්කාෂ්මවල එකතුව 1,100 ඉක්මවනවා. බුධගේ ඇති ගූඪ බව ඉන් පැහැදිලි වනවා. විද්‍යාඥයන් පවසන්නේ චන්ද්‍ර සහ අඟහරු උල්කාෂ්මවල සංඛ්‍යාත්මක අගය හා සසඳන කල මේ වන විට බුධ උල්කාෂ්ම 10 ක් වත් මෙලොව තිබී හමු වී තිබිය යුතු බවයි.

මෙලෙස සැකයට භාජනය වී ඇත්තේ 2023 දී සහරා කාන්තාරයෙන් සොයාගත් Northwest Africa 15915 (NWA 15915) සහ Ksar Ghilane 022 (KG 022) යන උල්කාෂ්ම දෙකයි. මේවා බුධ ග්‍රහයාගේ සිට පැමිණි පාෂාණ බව තහවුරු වුවහොත්, එය බුධ ග්‍රහයා පිළිබඳ මෙතෙක් නොදත් කරුණු අනාවරණය කරගනීමට විවර වූ ස්වර්ණමය දොරටුවක් වනවා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications