Home Science News ටෙක්සාස් පූමා ජාන ෆ්ලොරිඩා පැන්තරුන් වඳවීමෙන් බේරාගනී

ටෙක්සාස් පූමා ජාන ෆ්ලොරිඩා පැන්තරුන් වඳවීමෙන් බේරාගනී

by Sathya

ෆ්ලොරිඩා පැන්තර් (Puma concolor coryi) යනු මවුන්ටන් ලයන් හෝ කුගර් ලෙස ද හඳුන්වනු ලබන කඳුකර සිංහයාගේ උප විශේෂයක්. දඩයම් කිරීම හා වාසස්ථාන අහිමි වීම හේතුවෙන් ඔවුන්ගේ මුල් භූමිය වන ෆ්ලොරීඩාවෙන් 5%කටත් අඩු ප්‍රමාණයකට ඔවුන් දැන් සීමා වී තිබෙනවා.

1990 ගණන් වන විට, ෆ්ලොරිඩා පැන්තර් සතුන් 30 කටත් අඩු සංඛ්‍යාවක් ඉතිරි ව සිට ඇති අතර, කුඩා ගහනය තුළ ම සමාභිජනනය වීම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් බවට පත් වුණා. එබැවින් ජනගහනයේ ජානමය විවිධත්වය වැඩි කිරීම සඳහා, 1995 දී විද්‍යාඥයින් ටෙක්සාස්හි සිට ෆ්ලොරිඩාවට ගැහැනු පැන්තර් සතුන් අට දෙනෙකු රැගෙන ආවා. වසර තිහකට පසු – මේ වන විට සමාභිජනනය අඩු වී ඇති අතර, ෆ්ලොරිඩා පැන්තර් ගහනය 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැදගත්ම කරුණ වන්නේ, නව ජාන හඳුන්වාදීම තිබියදීත්, ෆ්ලොරිඩා පැන්තර් විශේෂය ඔවුන්ගේ ම උප විශේෂයක් බවට පත් කරන ජානමය ලක්ෂණ හරණය වී නොමැති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබීමයි. මේ පිළිබඳ අධ්‍යයන වාර්තාව ජුලි 28 වන දින PNAS ජර්නලයේ පළ වී තිබුණා.

ෆ්ලොරිඩා පැන්තර් ගහනයට හඳුන්වාදුන් ටෙක්සාස් බළලුන් අට දෙනාගෙන් පස් දෙනෙකු සමඟ සාර්ථක ව අභිජනනය සිදු වී ඇති අතර, කාලයත් සමඟ ඔවුන්ගේ දරු පරම්පරාවෙන් ඇඹරුණු වලිග හා ප්‍රජනන ගැටලු වැනි සමාභිජනනයේ ලක්ෂණ අඩු වී ගොස් තිබෙනවා.

නමුත්, මෙම ගහන දෙක එකිනෙක බෝ කිරීමෙන් ෆ්ලොරිඩා පැන්තර් සතුන්ට ආවේණික ජානමය විචල්‍යයන් ආදේශ වීමේ අවදානමක් තිබුණා. එම විචල්‍යයන්වලින් සමහරක් ෆ්ලොරිඩා පැන්තර්ට සිය සුපුරුදු පරිසරයේ ජීවත් වීමට උපකාරී වූ අනුවර්තනවලට ඍජු බලපෑම් එල්ල කළ හැකි තරමේ ප්‍රබල වෙනස්කම් සිදු විය හැකි බවට ද උපකල්පන මතු වුණා.

“ටෙක්සාස්හි සිට තනි තනි බළලුන් ගෙන ඒමේ එක් විශාල ගැටලුවක් වූයේ ෆ්ලොරිඩාවට ආවේණික ජානමය විවිධත්වය සම්පූර්ණයෙන් ආදේශ වීමේ ඉඩකඩයි,” යනුවෙන් කැලිෆෝනියා ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ ජාන සංරක්ෂණ විද්‍යාඥවරියක වන අධ්‍යයනයේ සම-කතුවරිය ඩයනා ඇගුලර්-ගෝමස් පවසනවා. “ෆ්ලොරිඩාවට ආවේණික උප විශේෂය සංරක්ෂණය කිරීමට අප උත්සාහ කරනවා නම්, එය ගැටලුවක් විය හැකිය.”

ටෙක්සාස් පුමා ජානවල බලපෑම වර්තමාන ෆ්ලොරිඩා පැන්තර් ජනගහනයට බලපා ඇති ආකාරය අධ්‍යයනය කිරීම සඳහා, පර්යේෂකයන් ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ජානමය පරම්පරාව යන දෙක ම ඇති වර්තමාන ෆ්ලොරිඩා පැන්තර් පරපුරේ ජීනෝම සිතියම්ගත කළා. ඔවුන් සංසන්දනය සඳහා මුල් ටෙක්සාස් බළලුන් පස් දෙනෙකුගේ සහ මුල් ෆ්ලොරිඩා පැන්තර්වරුන් සිව්දෙනෙකුගේ ජීනෝම ද වෙන වෙන ම සිතියම්ගත කළා.

මෙහි දී ඔවුන්ට පෙනීගොස් තිබුණේ ටෙක්සාස් පූමාවන්ගේ ජාන ෆ්ලොරිඩාවට ආවේණික ජානමය පරම්පරාව යටපත් කර නොමැති බවයි. ඒ වෙනුවට, සමාභිජනනය හේතුවෙන් ඇති වූ හානිකර ජානමය විපරිණාමයන්ගේ බලපෑම අඩු කිරීමට දායක වී තිබෙනවා. “අපගේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ෆ්ලොරිඩාවේ ජාන තවමත් බොහෝ සෙයින් සුරක්ෂිත ව පවතින බවයි,” ඇගුලර්-ගෝමස් පවසනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications