Home Science News කොලරාඩෝවේ හාවුන් අතර පැතිර යන සොම්බි සිහිපත් කරන වයිරසය

කොලරාඩෝවේ හාවුන් අතර පැතිර යන සොම්බි සිහිපත් කරන වයිරසය

by Sathya

ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ වෙසෙන කැලෑ හාවුන්ගේ මුහුණේ කළු පැහැති ග්‍රාහිකා වැනි අංකුර හටගන්නා රෝගයක් පැතිරී යන බව ප්‍රාදේශීය පුවත් සේවයක් වන WFSB වාර්තා කර තිබෙනවා.

Colorado Parks and Wildlifeහි මාධ්‍ය ප්‍රකාශකයෙකු Newsweek සඟරාවට දන්වා ඇත්තේ මෙවැනි ව්‍යුහ වැඩීම සිදුවන්නේ පැපිලෝමා වයිරසයක් හේතුවෙන් විය හැකි බවයි. “පසුගිය සිකුරාදා මේ සිදුවීම්වලට අදාළ ඡායාරූප මුලින් ම පළ වීමත් සමඟ මේ වන විට උතුරු කොලරාඩෝ ප්‍රදේශය අවටින් සැලකිය යුතු වාර්තා ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.” යැ යි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වාර්තා කිහිපයකින් ම එක ම රෝගී සත්ත්වයා නියෝජනය වන්නට ඇති හැකියාව ඉහළ බවයි.

මෙම පැපිලෝමා වයිරසය මේ වන තෙක් අනෙකුත් සතුන්ට හෝ මිනිසුන්ට බෝවන රෝගයක් වශයෙන් හඳුනාගෙන නැහැ. කෙසේ වෙතත් කොලරාඩෝ වනජීවී බලධාරීන් මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන හාවුන්ට උවටැන් කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා. එසේ ම සුරතල් සතුන් ද මෙවැනි හාවුන් අසලට යාමෙන් වළක්වාගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

රෝග ලක්ෂණ පෙන්නුම් කරන හාවුන්ගේ මුහුණේ ඇති වී තිබෙන විරූපී ස්වභාවය සමාජ මාධ්‍ය ජාලාවල සහ අනෙකුත් මාර්ගගත සමාජයන් තුළ උණුසුම් පුවතක් සේ පැතිර යමින් තිබෙනවා. බැලූ බැල්මට The Last of Us වැනි කතාමාලාවල එන ‘සොම්බින්’ මෙන් දිස් වීම ඊට හේතුවයි.

ඇතැමුන් මත පළ කරන්නේ උතුරු ඇමරිකාව දෙසින් පැවත එන මිථ්‍යා කතාවල එන ‘ජැකලොප්’ වැනි අං සහිත හා විශේෂ ද මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හාවුන් වරදවා වටහාගැනීම් විය හැකි බවයි. පැපිලෝමා වයිරසය අධ්‍යයනය කළ විද්‍යාඥයන් හට එය පිළිකා ඇති කිරීම සඳහා හේතු වන බව සොයාගැනීමට හැකි වූ අතර, මිනිසුන්ට වැළඳෙන ආකාරයේ පැපිලෝමා වයිරසවලින් (හියුමන් පැපිලෝමා වයිරස් – HPV) ආරක්ෂා වීම සඳහා එන්නත් කරන HPV වැක්සීනය තැනීමට ද එය උපකාරී වී තිබෙනවා.

හාවුන් අතර පැතිරෙන්නේ SPV හෙවත් Shope Papilloma Virus වයිරසයයි. හියුමන් පැපිලෝමා වයිරසයට නෑකම් කීවත් එය මේ වන තෙක් මිනිසුන්ට වැළඳෙන බවක් සොයාගෙන නැහැ.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications