Home Science News ක්ලියෝපැට්‍රා සමයේ ඊජිප්තු වරායක් මුහුද යටින් සොයාගැනේ

ක්ලියෝපැට්‍රා සමයේ ඊජිප්තු වරායක් මුහුද යටින් සොයාගැනේ

by Sathya

ඊජිප්තුවට ආසන්න සාගරයේ ගිලී ගිය වරායක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් වී සිටිනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ක්ලියෝපැට්‍රා රැජිනගේ සැඟවුණු සොහොන සෙවීමට ඉඟියක් ඉන් සපයාගත හැකි වනු ඇති බවයි.

National Geographic ගවේෂකයන් වන කැත්ලීන් මාටිනස් සහ බොබ් බැලාර්ඩ් මේ නටඹුන් ව්‍යුහයන් සොයාගෙන තිබෙන්නේ මධ්‍යධරණී මුහුදේ පත්ල සිට මීටර හයක් පමණ ඉහළට එසැවී තිබියදීයි. මේ අතර සිරස් කණු විය යුතු ව්‍යුහ දෙකක් කැපී පෙනෙමින් තිබුණා. මදින ලද ගල් අතුරා කරන ලද බිම් සැකසීම්, සිමෙන්ති කුට්ටි සහ නැංගුරම් මෙන් ම amphorae යනුවෙන් හඳුන්වනු ලබන උසැති ගබඩා කර තැබීමේ ජෝගු ද සොයාගැනීමට ගවේෂකයන් සමත් වී තිබුණා. මේ සියල්ල ක්ලියෝපැට්‍රාගේ කාලයට සමපාත වන බව ද සොයාගැනුණා.

ගවේෂණ කණ්ඩායම මෙකී ගිලී ගිය වරාය නගරය සොයාගත්තේ මින් පෙර සොයාගනු ලැබූ උමං මාර්ගයක් ඔස්සේ ලුහුබැඳීමෙන් අනතුරුවයි. ඇලෙක්සැන්ඩ්‍රියාවට කිලෝමීටර 48ක් බටහිර දෙසින් පිහිටා ඇති ටැපෝසිරිස් මැග්නා නමැති ඉපැරැණි දෙවොලේ සිට විහිදුණු එම උමඟ මීටර 1,305කට ආසන්න දුරක් දිවගොස් තිබුණා.

බොහෝ පුරාවිද්‍යාඥයන් එරෙහි ව මත පළ කළත්, මාටිනස් විශ්වාස කරන්නේ ක්ලියෝපැට්‍රාගේ භූමදානයට අදාළ කටයුතු සඳහා ටැපෝසිරිස් මැග්නා දෙවොළ ඍජු ලෙස ම සම්බන්ධ බවයි. කෙසේ නමුත් එය නිෂ්චිත ලෙස තහවුරු කරගෙන නැති බව අවධාරණය කළ යුතුයි.

නටඹුන් වූ ගිලී ගිය වරාය නගරය පිළිබඳ සොයාගැනීම ඉකුත් සැප්තැම්බර් 18 වැනි දා ඊජිප්තු සංචාරක සහ පුරාවස්තු අමාත්‍යංශය විසින් නිවේදනය කෙරුණු අතර, ගවේෂණය අළලා තැනුණු National Geographic වැඩසටහන “Cleopatra’s Final Secret” නමින් Disney+ සහ Hulu ඔස්සේ විකාශය වනවා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications