Home Science News කලෙක Ryugu ග්‍රහකය තුළ ද්‍රව ජලය තිබී ඇති බව හෙළි වෙයි

කලෙක Ryugu ග්‍රහකය තුළ ද්‍රව ජලය තිබී ඇති බව හෙළි වෙයි

by Sathya

ග්‍රහකයක් වන Ryugu අභ්‍යන්තරයේ විශාල ජල පරිමාවක් ගලා ගොස් ඇති බවට ඉඟි පළ වීමත් සමඟ, ග්‍රහක මඟින් කලින් සිතුවාට වඩා බොහෝ වැඩි ජල ප්‍රමාණයක් පෘථිවියට ගෙන එන්නට ඇති බව පෙනී ගොස් තිබෙනවා.

​පෘථිවිය මත ජලය ඇති වීමේ ආරම්භය තරමක් අභිරහස්ජනක නමුත්, ග්‍රහක එහි එක් මූලාශ්‍රයක් ලෙස යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත්, අද වන විට පෘථිවියේ ඇති සියලු ම ජලය ගෙන ඒමට තරම් ප්‍රමාණවත් ග්‍රහක ගැටීම් සිදු වී තිබේ ද යන්න පිළිබඳ සැක සංකා පවතිනවා.

Ryugu වැනි කාබන් අධික ඇස්ටරොයිඩ (carbonaceous asteroids) සෑදී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ඇති දූවිලි හා අයිස්වලිනුයි. 2019 දී, ජපානයේ Hayabusa 2 අභ්‍යවකාශ යානය, Ryugu මතට ගොඩබැස, ග්‍රෑම් 5.4 ක ද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කර 2020 වසරේ දී නැවත පෘථිවියට රැගෙන පැමිණියා.

​Ryugu හි මුල් ඡායාරූපවලින් පෙනී ගියේ බලාපොරොත්තු වූවාට වඩා එය වියළි ස්වභාවයකින් යුතු බවයි. එහෙත්, මෑතක දී සිදු කළ අධ්‍යයනවලින් හෙළි වූයේ, මෙම වස්තුව ජලය ඇතුළු ජීවයට අත්‍යවශ්‍ය සංඝටකවලින් පිරී තිබෙන්නට ඇතැ යි සැක කළ හැකි ඉරිතැලීම්වලින් (cracks) පිරී තිබෙන බවයි.

​නියැදිවල මුල් දින නියම කිරීම්වලින්යෝ යෝජනා වූයේ, මෙම ග්‍රහකය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වඩාත් ම පැරැණි වස්තූන්ගෙන් එකක් බවයි. එනම්, එය වසර බිලියන 4.6 කට පෙර සෞරග්‍රහ මණ්ඩලය තැනුන බවට සැලකෙන කාලය දක්වා පැරැණි විය හැකි බවයි.

නමුත් ටෝකියෝ විශ්ව විද්‍යාලයේ Tsuyoshi Iizuka සහ ඔහුගේ සගයන් ග්‍රහකයේ ඇති ඉතා කුඩා නියැදි මට්ටම්වල ලුටෙටියම්-176 (lutetium-176) හැෆ්නියම්-176 (hafnium-176) බවට සිදුවන විකිරණ ක්ෂය වීම මත පදනම් ව එහි වයස ගණනය කළ විට, ඔවුන්ට ඇදහිය නො හැකි තරම් පැරැණි සම්භව කාලයක් ලැබීම පුදුමයට කරුණක් ව තිබුණා.

“අපට Ryugu මඟින් ලබාගත් නියැදි අධ්‍යයනයේ දී වසර බිලියන 4.8 කට ආසන්න වයසක් ලැබුණා. එය සෞරග්‍රහ මණ්ඩලයේ වයසට වඩා බොහෝ පැරණි යුගයකට අයත්. මෙයින් අදහස් කරන්නේ Ryugu නියැදිවල ඇති ‘කාල මාපකයන්’ නිවැරැදි නැති බවයි.” Iizuka පවසනවා.

පර්යේෂණ කණ්ඩායම විශ්වාස කරන්නේ, Ryugu හි මව් වස්තුව සෑදී වසර බිලියනයකට පමණ පසු, යම් දෙයක් නිසා ග්‍රහකව අයිස්, ද්‍රව ජලය බවට පත් වීමට ප්‍රමාණවත් ලෙස උණුසුම් වන්නට ඇති බවයි. මෙයින් ලුටෙටියම්-176 සමහරක් ඉවත් ව යන්නට ඇති අතර, එය දින නියම කිරීමේ ක්‍රමවේදය දූෂිත කර තිබෙනවා.

සූර්ය විකිරණය මඟින් මතුපිට අයිස් උණුසුම් කළ හැක්කේ උපරිම වශයෙන් සෙන්ටිමීටර 40 ක ගැඹුරකට පමණක් වන අතර, Ryugu නියැදි ලැබී ඇත්තේ මීටරයක් දක්වා ගැඹුරකින්. මව් ග්‍රහකයේ අභ්‍යන්තරය උණුසුම් වීමට වඩාත් ම ඉඩ ඇති පැහැදිලි කිරීම වන්නේ වෙනත් වස්තුවක් සමඟ ගැටීමක් බව පර්යේෂකයෝ පවසනවා.

Ryugu නියැදිවල ඇති ලුටෙටියම්-176 ප්‍රමාණය වෙනස් කිරීමට අවශ්‍ය ජල පරිමාව ගණනය කිරීමෙන්, ග්‍රහකයේ 20% ත් 30% ත් අතර ජල ප්‍රමාණයකින් යුක්ත වූ බව පර්යේෂණ කණ්ඩායම සඳහන් කරනවා. එය මින් පෙර ප්‍රකාශිත තක්සේරුවලට වඩා බෙහෙවින් ඉහළ අගයක්.

සෞන්දර්ය සෙනරත්

 

 

 

 

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications