Home Science News ‘හිරුට වැටුණු මිනිසා’

‘හිරුට වැටුණු මිනිසා’

by Sathya

තාරකා ඡායාරූපශිල්පියෙකු විසින් අහසේ සිට නිදැල්ලේ වැටෙන ගගන පිහිනුම්කරුවෙකු, සූර්යයාගේ මුහුණත පෘෂ්ඨය සමඟ පරිපූර්ණ ව පෙළගස්වා ඇති අතිවිශිෂ්ට දුර්ලභ ඡායාරූපයක් ගැනීමට සමත් ව තිබෙනවා. ගගනගාමියෙකු සූර්යයා වෙත ඇද වැටෙනවාක් වැනි පෙනුමක් ඉන් නිරූපණය වනවා.

‘The Fall of Icarus’ යනුවෙන් නම් කර ඇති මේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ, ඇමරිකාවේ ඇරිසෝනාහි පදිංචි, හිරුගේ ඡායාරූප ගැනීම පිළිබඳ විශේෂඥයෙකු වන ඇන්ඩෲ මැකාති නමැති ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉකුත් නොවැම්බර් 08 වැනි දා ලබාගැනුණු මේ ඡායාරූපය සඳහා අතිශය සූක්ෂ්ම ලෙස සැලසුම් සකස් කිරීමට සිදු වූ බව ඔහු සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ එය ඒ ආකාරයේ ඡායාරූපවල පළමුවැන්න විය හැකි බවයි.

ඡායාරූපයේ සටහන් ව තිබෙන ගගන කිමිදුම්කරුවා සංගීතඥයෙකු මෙන් ම YouTube නිර්මාණකරුවෙකු ද වන ගැබ්‍රියෙල් සී. බ්‍රවුන්. ඔහු මෙදින මැකාතිගේ සැලසුමට අනුගත වන පරිදි අඩි 3,500ක උන්නතාංශයකින් පියාසර කළ සැහැල්ලු ගුවන් යානයකින් පහළට පිනූ අතර, මෙම ඡායාරූපය ලබාගන්නා විට ඔහු සහ කැමරා කාචය අතර දුර අඩි 8,000ක් පමණ වූ බව සඳහන්.

මැකාති සඳහන් කර ඇති පරිදි මේ ඓතිහාසික ඡායාරූපය පළමු පිම්ම අතරතුර ම ලබාගැනීමට හැකියාව ලැබී තිබුණා. කෙසේ නමුත් ඔහු සඳහන් කර තිබුණේ, සති ගණනක් තිස්සේ මේ සඳහා සැලසුම් සකස් කළ බවයි. තම වෘත්තීය දිවියේ ගත් හොඳ ම ඡායාරූප පහ අතරට මෙය ද ඇතුළත් වන බව මැකාති සඳහන් කරනවා. මින් පෙර සූර්ය ලෙළසිළුවක් ඉදිරිපසින් ගමන් කරන ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ දැක්වෙන ඡායාරූපයක් සහ සූර්ය තැටිය සිදුරු කරමින් ගමන් කරන අයුකින් සටහන් වී ඇති SpaceX රොකට්ටුවක් ද ඡායාරූපගත කිරීමට සමත් වී තිබුණා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications