Home Science News Artemis 4 මෙහෙයුමෙන් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙක්

Artemis 4 මෙහෙයුමෙන් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙක්

by Sathya

Artemis 4 මෙහෙයුම මඟින් සඳ වෙත යන පළමු යුරෝපීයයා ජර්මානු ජාතිකයෙකු වනු ඇති බව යුරෝපානු අභ්‍යාවකාශ නියෝජිතායතනයේ (ESA) අධ්‍යක්ෂ යොසෙෆ් ඇශ්බැචර් සඳහන් කරනවා. ඔහු මේ බව පැවසුවේ ඉකුත් 27 දා ජර්මනියේ බර්මන්හි පැවති නියෝජතායතනය සඳහා මුදල් වෙන් කිරීම් සිදුකරන ESA අමාත්‍ය කවුන්සිලයේ දීයි.

ESA වෙත වැඩි ම මුදලක් ලබා දෙන්නේ ජර්මනියයි. Artemis මෙහෙයුමේ දී ගගනගාමීන් රැගෙන යන ඔරායන් යානයට ජවය ලබා දෙන යුරෝපානු සේවා මොඩියුලය ද එකලස් කෙරෙන්නේ ජර්මනියේ ඇති Airbus කර්මාන්ත ශාලාවකයි. 2027 වන විට සඳ වටා කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන Lunar Gateway අභ්‍යවකාශ නැවතුම්පොළේ කොටස් ද නිෂ්පාදනය වන්නේ යුරෝපය තුළයි. අධ්‍යක්ෂවරයා සඳහන් කළ පරිදි මෙම කොටස් ප්‍රංශයේ සහ ඉතාලියේ සහභාගීත්වයෙන් නිමැවෙන අතර එම ජාතික ගගනගාමීන් ද ඉන් පසු උදාවන චන්ද්‍ර ගමන්වල දී සඳ වෙත යනු ඇති බවයි.

මෙම දායකත්වයන්ට හිලව් වශයෙන්, ESA චන්ද්‍රයා වෙත යන ගමන් සඳහා ආසන තුනක් සුරක්ෂිත කරගෙන තිබෙනවා. “ප්‍රථම වතාවට ESA ගගනගාමියෙකු පෘථිවි පහළ කක්ෂය ඉක්මවා යාම ඔවුන්ගේ රටට සහ යුරෝපයට විශාල ආස්වාදයක් සහ ආඩම්බරයක් වනු ඇති,” යනුවෙන් ඇශ්බැචර් සම්මන්ත්‍රණයේ දී සඳහන් කළා.

වර්තමානය වන විට ESA හි ගගනගාමී සංචිතය තුළ ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු සිටිනවා. 55 හැවිරිදි මැතියස් මොරර් සහ 49 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ගර්ස්ට් යන මොවුන් දෙදෙනා ම ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ තුළ කටවුතු කළ, අද්දැකීම් සහිත අයයි. 36 හැවිරිදි ඇමලී ෂෝනන්වෝල්ඩ් සහ 40 හැවිරිදි නිකෝලා වින්ටර් ද ESA අතිරේක සංචිතයට ඇතුළත් ජර්මානු ජාතික ගගනගාමීන් වෙතත්, ඔවුන් මෙතෙක් අභ්‍යවකාශයේ අත්දැකීම් ලැබූවන් නොවෙයි. එනිසා සඳ වෙත යන මේ අසුන හිමි වීමට වඩාත් ම ඉඩකඩ ඇත්තේ මොරර් සහ ගර්ස්ට් අතරින් අයෙකුටයි.

සෞන්දර්ය සෙනරත්

 

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications