Home Science News කළු මරණය ව්‍යාප්ත වූයේ යමහල් පිපිරීමක් නිසා ද?

කළු මරණය ව්‍යාප්ත වූයේ යමහල් පිපිරීමක් නිසා ද?

by Sathya

14 වැනි සියවස මධ්‍ය කාලයේ සිදු වූ නො දන්නා යමහල් විදාරණයක් කළු මරණය නමැති වසංගත තත්ත්වය යුරෝපය පුරා පැතිරී යන පරිදි කටයුතු සැලසූ බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. මධ්‍යධරණී කලාපයට ඉහළින් වලාකුළුවලින් බර වූ සිසිල් වාතාවරණයක් ඇති කිරීම මඟින් මේ යමහල් විදාරණය ඩොමිනෝ බලපෑමක් ඇති කර ඇති අතර, කෘෂි ඵලදාව පහළගොස් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කළු මුහුද ඔස්සේ වෙළෙඳුන් සහල් ආනයනයට පෙළඹීම මත ‘කළු මරණය’ හෙවත් Black Death වසංගතයට හේතු වූ Yersinia pestis බැක්ටීරියාව ව්‍යාප්ත වී තිබෙනවා.

මෙලෙස එය 1347 දී යුරෝපයට පැමිණි පසු ප්‍රථමයෙන් ඉතා ම ඉක්මනින් ඉතාලියේ වරාය ආස්නන නගර වේගයෙන් පැතිර ගිය අතර ඉන්පසු වසර කිහිපයක් තුළ යුරෝපය පුරා පැතිර යමින් එහි ජනගහනයෙන් 30%ත් 60%ත් අතර ප්‍රමාණයකට මරු කැඳවූවා.

ජර්මනියේ නැගෙනහිර යුරෝපයේ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ ලයිබ්නිට්ස් ආයතනයේ ඉතිහාසඥයෙකු වන මාටින් බාවුච්, සඳහන් කරන්නේ වසංගතය පිළිබඳ ඉතා නිශ්චිත කරුණක් ඔහු කුතුහලයට පත් කළ බවයි. එනම් “කළු මරණය ඒ යුගයේ ම කළු මුහුදේ සිට ඉතාලියට ළඟා වූයේ කෙසේ ද සහ ඇයි?” යන්නයි.

මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට, බාවුච් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාඥයෙකු වන උල්ෆ් බුන්ටන්, 1347 දී කළු මරණය හදිසියේ මතුවීම පැහැදිලි කළ හැකි, මධ්‍යධරණී මුහුදේ දේශගුණය විසින් මෙහෙයවන ලද වෙනස්කම් පිළිබඳව පර්යේෂණ ඇරඹුවා. ඔවුන්ගේ පර්යේෂණ බකුත් බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 4) Communications Earth & Environment නම් විද්‍යාත්මක සඟරාවේ පළ ව තිබුණා.

සමකාලීන ඓතිහාසික වාර්තා පිරික්සීමේ දී, පර්යේෂකයන් සූර්යාලෝකය අඩුවීම, වලාකුළු වැඩිවීම සහ අඳුරු චන්ද්‍රග්‍රහණයක් පිළිබඳ වාර්තා නිරීක්ෂණය කර තිබුණා. මේ සියල්ල 1345 සහ 1349 අතර කාලය තුළ ආසියාවේ සහ යුරෝපයේ නිරීක්ෂකයන් විසින් ස්වාධීන ව වාර්තා කර තිබුණා. මෙම සියලු ම තාරකා විද්‍යාත්මක හා කාලගුණ විද්‍යාත්මක සංසිද්ධීන් මහා පරිමාණ ගිනිකඳු වායුමය ස්ථරයකට ආරෝපණය කළ හැකි අතර, සල්ෆේට් වායු අංශු සූර්යාලෝකය නැවත අවකාශයට පරාවර්තනය කරන බැවින්, එය සීතල කාලගුණ තත්ත්වයන් ඇති කරන බව පෙනී ගියා.

පුරාණ දේශගුණික දත්ත පර්යේෂකයන්ට ඉඟියක් ලබා දී තිබුණා. එනම්, ධ්‍රැවීය අයිස් හරයන් තුළ ඇති ඉහළ සල්ෆර් ප්‍රමාණය මගින් 1345 වසරට ආසන්න, කලින් දැන් නො සිටි ගිනි කන්දක හෝ කිහිපයක පුපුරා යාමක් සිදු වී තිබිය හැකි බව යෝජනා කෙරුණා.

නිම්නා අමරසේකර

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications