Home Science News අසනීප Crew 11 ගගනගාමියාගේ තත්ත්වය යහපත්

අසනීප Crew 11 ගගනගාමියාගේ තත්ත්වය යහපත්

by Sathya

සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සය මසක මෙහෙයුම අතරමඟ නවතා යළි පොළොවට ගෙන්වාගන්නා ලද Crew 11 ගගනගාමීන් සිව් දෙනා රැගත් කැප්සියුලය නැගෙනහිර වේලාවෙන් ඊයේ පෙරවරු 3.41ට පැසිෆික් සාගරයට නිරුපද්‍රිත ව ගොඩබස්වනු ලැබුණා. NASA ආයතනය නිවේදනය කළේ අසනීප තත්ත්වයෙන් පසු වූ ගගනගාමියාගේ තත්ත්වය යහපත් බවයි.
“අවධානයට ලක් වූ ගගනගාමියාගේ තත්ත්වය යහපත්” ගොඩබැසීමෙන් පසු පවත්වන ලද මාධ්‍ය හමුනේ දී NASA ප්‍රධානී ජෙරාඩ් අයිසැක්මන් සඳහන් කළා.

NASA ගගනගාමීන් වන සීනා කාඩ්මන්, මයිකල් ෆින්කේ, JAXA ගගනගාමී කිමියා යූයි සහ රොස්කොස්මොස් ගගනගාමී ඔලෙග් ප්ලැන්ටොනොෆ් මෙලෙස ඊයේ දිනයේ පෘථිවියට පැමිණියේ ඔවුන් අතරින් අයෙකු අවධානයට ලක් විය යුතු සෞඛ්‍ය තත්ත්වයක පසුවීම හේතුවෙන්. කෙසේ නමුත් NASA ආයතනය මෙලෙස අසනීප වූ ගගනගාමියාගේ අනන්‍යතාව හෝ සෞඛ්‍ය තත්ත්වයේ ස්වභාවය හෝ හෙළි කර නැහැ.
Crew 11 මෙහෙයුමට අනුයුක්ත ව සිටි මේ ගගනගාමීන් සිව් දෙනා මේ වන විට දින 167ක් අභ්‍යවකාශ නැවතුම්පොළ තුළ ගතකර ඇති අතර, සියල්ල යථා පරිදි සිදු විණි නම් පොළොවට පැමිණීමට නියමිත ව තිබුණේ ලබන මාසයේ දීයි. NASA බලධාරීන් මුලින් සඳහන් කළේ අදාළ ගගනගාමියාගේ තත්ත්වය ස්ථාවර බැවින් හදිසි කැඳවාගැනීමක් අවශ්‍ය නො වන බවයි. කෙසේ නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ඇති වෛද්‍ය උපකරණ සීමා සහිත බැවින් ‘පාලිත වෛද්‍ය ඉවත් ව යාමක්’ (controlled medical evacuation) සිදුකිරීමට තීරණය කෙරුණා. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ 25 වසරක ඉතිහාසය තුළ ගගනගාමී කණ්ඩායමක් සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් නියමිත මෙහෙයුම් කාලය සම්පූර්ණ කිරීමෙන් තොර ව පොළොවට ගෙන්වා ගැනුණු පළමු අවස්ථාව මෙයයි.

මේ වනවිට Crew 11 ගගනගාමීන් සිව් දෙනා ම රෝහල්ගත කර ඇති අතර, එහි දී අදාළ රෝගී ගගනගාමියාට අවශ්‍ය වැඩිදුර වෛද්‍ය සත්කාර සිදුකරමින් තිබෙනවා. ගගනගාමීන් සිව් දෙනා ම එකට රෝහල්ගත කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ අදාළ ගගනගාමියාගේ අනන්‍යතාව හෙළි නො වන සේ ආවරණය කරගැනීමයි.

මේ අතර Crew 11 කණ්ඩායම පිටත් ව ඒමෙන් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ මේ වන විට රැඳී සිටිින ගගනගාමීන් සංඛ්‍යාව 3 දක්වා පහත බසිනවා. ඒ අනුව මේ මොහොතේ එහි වෙසෙන්නේ රුසියානු සෝයූස් මෙහෙයුමකින් එහි පැමිණි රොස්කොස්මොස් ගගනගාමී සර්ගෙයි කුඩ්-ස්වර්ච්කොෆ්, සර්ගෙයි මිකායෙෆ් සහ NASA ගගනගාමී ක්‍රිස්ටෝපර් විලියම්ස් පමණයි. ලබන මස නැවත මෙහෙයුමකින් ගගනගාමීන් එහි යන තෙක් ක්‍රිස් විලියම්ස් ඇමරිකානු කොටස තනි ව පවත්වාගෙන යනු ඇති අතර, රුසියානු කොටස රුසියානු ගගනගාමීන් දෙදෙනා විසින් පවත්වාගෙන යනු ඇති.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications