Home Science News වකුගඩු ගල් ඇතුළේ බැක්ටීරියා

වකුගඩු ගල් ඇතුළේ බැක්ටීරියා

by Sathya

වකුගඩු ගල් සෑදීමේ ක්‍රියාවලිය පිළිබඳ මෙතෙක් පැවති වෛද්‍ය විද්‍යාත්මක අවබෝධය සම්පූර්ණයෙන් වෙනස් කළ හැකි නවතම පර්යේෂණයක් මඟින්, කැල්සියම් වකුගඩු ගල් තුළ සජීවී බැක්ටීරියා පවතින බව අනාවරණය කරගන්නට පර්යේෂකයන් සමත් ව සිටිනවා.

දශක ගණනාවක් තිස්සේ වෛද්‍ය ප්‍රජාව විශ්වාස කළේ වකුගඩුවල බහුල ව ම දක්නට ලැබෙන ‘කැල්සියම් ඔක්සලේට්’ (calcium oxalate) ගල් යනු මුත්‍රාවල ඇති ඛනිජ ලවණ ස්ඵටිකීකරණය වීමෙන් සිදුවන සරල රසායනික ක්‍රියාවලියක් බවයි. නමුත් Proceedings of the National Academy of Sciences (PNAS) ජර්නලයේ පළ වූ මෙම නව අධ්‍යයනයට අනුව, මෙම වේදනාකාරී තැන්පත් වීම් හුදෙක් රසායනික ද්‍රව්‍ය නොව බැක්ටීරියා සහ ආරක්ෂිත ජෛව පටල සහිත ‘ජෛව සංයුක්ත’ (biocomposites) ද්‍රව්‍යයක්.

උසස් අන්වීක්ෂීය තාක්ෂණය භාවිත කරමින් පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, බැක්ටීරියා හුදෙක් වකුගඩු ගල් අසල ගැවසෙන්නන් පමණක් නොව, ඒවා නිර්මාණය කිරීමට ක්‍රියාකාරී ව දායක වන බවයි. මෙම ක්ෂුද්‍ර ජීවීන් ඛනිජ ලවණ තැන්පත් වීම සඳහා අවශ්‍ය මතුපිටක් සපයමින් එහි ‘බීජ’ ලෙස ක්‍රියා කරන අතර, ඛනිජ ස්තර වර්ධනය වන විට බැක්ටීරියා එම ගල් ව්‍යුහය තුළ ම සිර වී පවතිනවා

මෙම සොයාගැනීම වෛද්‍ය විද්‍යාවේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ, බොහෝ රෝගීන් නිසි ආහාර පාලනයක් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්ත ද නැවත නැවතත් වකුගඩු ගල් ඇතිවන්නේ ඇයි ද යන්න මින් පැහැදිලි වන බැවින්. බැක්ටීරියා ගලෙහි ඛනිජමය ව්‍යුහය තුළ සැඟවී සිටින නිසා, ඒවා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණවලට හසු නො වන අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ද ආරක්ෂා වී සිටින බව පර්යේෂකයන් පවසනවා. මෙය දිගුකාලීන මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවීමට ද හේතුවක් විය හැකියි.

මෙම පර්යේෂණය මඟින් වකුගඩු ගල් සඳහා නව වැළැක්වීමේ ප්‍රතිකාර හඳුන්වා දීමට මාවත විවර කර තිබෙනවා. මින් ඉදිරියට ඛනිජ රසායනය කෙරෙහි පමණක් අවධානය යොමු කරනවා වෙනුවට, ගල් සෑදීමට මුල් වන බැක්ටීරියා ඉලක්ක කර ගනිමින් ප්‍රතිකාර කිරීම හරහා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා පීඩා විඳින මෙම වේදනාකාරී රෝගී තත්ත්වයට ස්ථිර සහනයක් ලබා දීමට හැකි වනු ඇතැ යි විද්‍යාඥයෝ විශ්වාස කරනවා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications