Home Science News Artemis II චන්ද්‍ර මෙහෙයුම අප්‍රේල් මුල

Artemis II චන්ද්‍ර මෙහෙයුම අප්‍රේල් මුල

by Sathya

වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ගගනගාමීන් සඳ වටා රැගෙන යාමට සැලසුම් කර ඇති Artemis II මෙහෙයුම එළඹෙන අප්‍රේල් මස මුල දී දියත් කිරීමට NASA ආයතනය බලාපොරොත්තු වනවා. හීලියම් කාන්දුවක් හේතුවෙන් මීට පෙර ප්‍රමාද වූ මෙම රොකට්ටුව මේ වන විට අලුත්වැඩියා කර ඇති අතර, මාර්තු 19 වන දින යළිත් දියත් කිරීමේ අංගනය වෙත රැගෙන ඒමට සැලසුම් කර ඇති බව NASA ආයතනය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී නිවේදනය කෙරුණා. අප්‍රේල් 1 වන දින මෙය දියත් කිරීමට හැකි මුල් ම දිනය ලෙස NASA ආයතනය පවසනවා.

මෙම ඓතිහාසික මෙහෙයුම සඳහා ඇමරිකානු ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච් සමඟින් කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් එක් වනවා. ඔවුන් නාසා හි SLS රොකට්ටුව සහ Orion අභ්‍යවකාශ යානය මඟින් ගමන් කරන පළමු මිනිසුන් වනු ඇති අතර, දින 10ක කාලයක් පුරා දිවෙන මෙම මෙහෙයුමේ දී ගගනගාමීන් පෘථිවියට කිසි දා නො පෙනෙන සඳෙහි අනෙක් පස වටා ගමන් කර යළි පෘථිවියට පැමිණීමට නියමිතයි.

මෙහෙයුමේ පවතින අවදානම් පිළිබඳව NASA නිලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. Artemis II මෙහෙයුම් කළමනාකරණ කණ්ඩායමේ සභාපති ජෝන් හනිකට් ප්‍රකාශ කළේ, මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා සිදුවිය හැකි සෑම ආකාරයේ ම දෝෂ සහ අවදානම් තත්ත්ව තක්සේරුවට ලක් කර ඇති බවයි. දියත් කිරීමට පෙර රොකට්ටුවට ඉන්ධන පුරවා සිදු කරන පෙරහුරු තවදුරටත් සිදු නො කරන බවත්, ඊළඟ වතාවේ ඉන්ධන පුරවනු ලබන්නේ සැබෑ දියත් කිරීමේ අවස්ථාවේ දී පමණක් බවත් NASA ආයතනය තීරණය කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.

1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු සඳ වෙත සිදු කරන පළමු මිනිස් මෙහෙයුම මෙයයි. මීට පෙර තාප ආවරණයේ ඇති වූ ගැටලු හේතුවෙන් වසර දෙකකින් පමණ මෙහෙයුම ප්‍රමාද කිරීමට සිදුවුණා. එසේ ම ඉකුත් පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කල් දමන්නට සිදු වූ මෙහෙයුම අනතුරු ව අප්‍රේල් දක්වා කල් දැමීමට ද සිදුවුණා. කෙසේ වෙතත්, 2026 අප්‍රේල් මස අවසානයට පෙර මෙය දියත් කිරීමට NASA ආයතනය මේ වන විට දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications