Home Science News ගෝලීය වසංගත ගිවිසුමට අත්සන් තැබීම නැවතත් කල් යයි

ගෝලීය වසංගත ගිවිසුමට අත්සන් තැබීම නැවතත් කල් යයි

by Sathya

මීළඟ මහා රෝග ව්‍යාප්තියකට මුහුණ දීම සඳහා ලෝකය තවමත් සූදානම් නොමැති බවට අනතුරු අඟවමින්, ගෝලීය වසංගත ගිවිසුම හෙවත් Global Pandemic Treaty අවසන් කිරීම සඳහා වූ ප්‍රධාන කාලසීමාව සාකච්ඡාකරුවන් විසින් මගහැර ඇති බව The Guardian පුවත්පත වාර්තා කරනවා. රෝග කාරක පිළිබඳ තොරතුරු බෙදාගැනීම සහ එමඟින් නිෂ්පාදනය කෙරෙන එන්නත් හා ප්‍රතිකාර සඳහා රටවලට හිමිවන සහතිකය සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

“රෝග කාරක ප්‍රවේශය සහ ප්‍රතිලාභ බෙදාගැනීම” (Pathogen Access and Benefit Sharing – Pabs) ලෙස හැඳින්වෙන මෙම ක්‍රමය ස්ථාපිත කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත ගිවිසුම බලාත්මක වීමට පෙර තහවුරු කළ යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක් වනවා. මෙම එකඟතාවයට පැමිණීමට අපොහොසත් වීම ‘මනුෂ්‍යත්වයට කරන අගෞරවයක්’ බවයි වසංගත සූදානම පිළිබඳ ස්වාධීන මණ්ඩලයේ සම සභාපතිවරුන් වන ලයිබීරියාවේ හිටපු ජනාධිපතිනි එලන් ජොන්සන් සර්ලීෆ් සහ නවසීලන්තයේ හිටපු අගමැතිනි හෙලන් ක්ලාක් ප්‍රකාශ කරන්නේ.

සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර පවතින දැඩි අවිශ්වාසය සාකච්ඡා මන්දගාමී වීමට බලපා ඇති තවත් කරුණක් ලෙස පෙනෙන්නට තිබෙනවා. අප්‍රිකානු කලාපය ඇතුළු ‘යුක්තිය සඳහා වූ කණ්ඩායම’ (Group for Equity) ඉල්ලා සිටින්නේ, රටවල් විසින් බෙදාගනු ලබන භයානක රෝග කාරක මඟින් නිපදවන වෛද්‍ය නිෂ්පාදන බෙදාගැනීම ඖෂධ සමාගම්වලට අනිවාර්ය කළ යුතු බවයි. කෙසේ වෙතත්, යුරෝපීය රටවල් කිහිපයක් තර්ක කරන්නේ මෙය පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට බාධාවක් විය හැකි බැවින්, එය අනිවාර්ය සහ ස්වේච්ඡා අවශ්‍යතාවල මිශ්‍රණයක් විය යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස් අවධාරණය කරන්නේ මීළඟ වසංගතය පැමිණීම “කවදා හෝ සිදුවන්නක්” (matter of when, not if) බැවින්, රටවල් දැඩි හදිසි හැඟීමකින් යුතු ව කටයුතු කළ යුතු බවයි. මීට අමතර ව, ලෝක සෞඛ්‍ය සංවිධානයට ජාතික ස්වෛරීභාවය පවරා දෙන බවට ඇතැම් රටවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු ද මෙම ක්‍රියාවලියට බාධා පමුණුවා ඇත.

මෙම ගිවිසුම 2025 මැයි මාසයේ දී සම්මත වූවත්, Pabs සම්බන්ධ ගැටලුව විසඳා නොමැති බැවින් එය තවමත් අත්සන් තැබීම සඳහා විවෘත කර නැහැ. වත්මන් සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ, මෙම එකඟතාවයට පැමිණීම සඳහා වූ නව කාලසීමාව 2027 ලෝක සෞඛ්‍ය සමුළුව දක්වා කල් දැමීමට සිදු ව තිබෙනවා.

The Guardian ඇසුරෙනි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications