Home Science News සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටි කුඩා වස්තුවකට වායුගෝලයක්

සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටි කුඩා වස්තුවකට වායුගෝලයක්

by Sathya

සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ පිහිටි අතිශය කුඩා ආකාශ වස්තුවක් වටා අභිරහස් ලෙස වායුගෝලයක් ගොඩනැගී ඇති බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. (612533) 2002 XV93 ලෙස හඳුන්වන මෙම වස්තුව, නෙප්චූන් ග්‍රහයාගේ කක්ෂයෙන් ඔබ්බට පිහිටි කුයිපර් පටියට (Kuiper Belt) අයත් වන්නනක්.

මෙම වස්තුව “ප්ලූටිනෝ” (plutino) ලෙස හඳුන්වන අතර, එය ප්ලූටෝ ග්‍රහයා මෙන් නෙප්චූන් සමඟ 2:3 කක්ෂීය අනුපාතයක් පවත්වා ගනු ලබනවා. එනම්, නෙප්චූන් සූර්යයා වටා තුන් වරක් යන කාලය තුළ මෙම වස්තුව සූර්යයා වටා දෙවරක් ගමන් කරනවා. සාමාන්‍යයෙන් ප්ලූටෝ වැනි සාපේක්ෂව විශාල වස්තූන් සතු ව තුනී වායුගෝලයක් පැවතිය ද, මෙතරම් කුඩා වස්තුවක් වටා වායුගෝලයක් තිබීම විද්‍යාඥයන්ගේ මවිතයට හේතු වී තිබෙනවා.

2024 ජනවාරි 10 වන දින ජපානයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ කෝ අරිමාට්සු ඇතුළු වෘත්තීය සහ ආධුනික තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදු කරනු ලැබ තිබෙනවා. මෙහි වායුගෝලය හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ මෙම වස්තුව තාරකාවක් ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවක කළ නිරීක්ෂණ මඟින්. එහි දී තාරකාවේ ආලෝකය ක්ෂණික ව නිවී යනවා වෙනුවට ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති අතර, එයින් තහවුරු වූයේ එම වස්තුව වටා ආලෝකය අවහිර කරන තුනී වායුගෝලයක් පවතින බවයි.

මෙම වායුගෝලය පෘථිවියේ වායුගෝලයට වඩා මිලියන 5 සිට 10 දක්වා ප්‍රමාණයකින් තුනී වන අතර, එහි මතුපිට පීඩනය නැනෝබාර් 100 ත් 200 ත් අතර අගයක් ගන්නවා. ප්ලූටෝගේ වායුගෝලයට වඩා මෙය ඉතා කුඩා වුව ද, කුඩා වස්තුවක් වටා මෙවැන්නක් පැවතීම ම සුවිශේෂ කරුණක් වනවා.

මෙම වායුගෝලය කුමන වායූන්ගෙන් සමන්විත දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. මීට පෙර ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින් කළ නිරීක්ෂණවල දී එහි මතුපිට වායූන් බවට පත්විය හැකි අයිස් වර්ග කිසිවක් හමු වී තිබුණේ නැහැ. විද්‍යාඥයන් පවසන්නේ මෙය අයිස් විදාරණ (cryovolcanism) මඟින් අභ්‍යන්තරයේ ඇති වායූන් මුදාහැරීමෙන් හෝ මෑතක දී සිදු වූ වල්ගාතරු ගැටීමක් නිසා තාවකාලික ව නිර්මාණය වූ වායුගෝලයක් විය හැකි බවයි.

මෙම සොයාගැනීම මඟින් විශාල ග්‍රහලෝකවලට පමණක් වායුගෝල තිබිය හැකි ය යන සාම්ප්‍රදායික මතය වෙනස් කිරීමට සිදුවන බව පර්යේෂකයෝ පෙන්වා දෙනවා. ඉදිරි කාලයේ දී ජේම්ස් වෙබ් දුරේක්ෂය හරහා මෙහි වායු සංයුතිය සහ ඝනත්වය වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් මෙම අභිරහස විසඳා ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications