ලොව වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව ඇති සාගර ක්ෂීරපායියෙකු වන වකිටා (Vaquita) පෝපොයිස් සත්වයාගේ අස්ථි පද්ධතියක් නවීන ත්‍රිමාන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙනවා. සත්ත්වයාගේ අභ්‍යන්තර ව්‍යුහය ඉතා සූක්ෂ්ම ලෙස සංරක්ෂණය කරමින් සිදුකරන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ උන් පිළිබඳ පර්යේෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සහ සංරක්ෂණ ක්‍රියාවලියට අවශ්‍ය සහය ලබා දීමයි. මෙක්සිකෝවේ කැලිෆෝනියා බොක්ක ආශ්‍රිතව පමණක් දැකිය හැකි මෙම දුර්ලභ සත්වයා, මේ වන විට ලෝකයෙන් වඳවී යාමේ අභිමුවට ම පැමිණ සිටීම මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා වෛද්‍ය ප්‍රතිබිම්බ තාක්ෂණය සහ ඉතා ඉහළ විභේදනයක් සහිත ක්ෂුද්‍ර සීටී ස්කෑන් තාක්ෂණය මෙන් ම ඡායාරූප ශිල්පය ද ඒකාබද්ධව භාවිත කර ඇති බව මූලාශ්‍ර සඳහන් කරනවා. මිනිස් කෙස් ගසක පළලට වඩා කුඩා අස්ථි කොටස් පවා ඉතා පැහැදිලි ව නිරීක්ෂණය කළ හැකි මට්ටමින් මෙම ආකෘති සකසා තිබීම විශේෂත්වයක්. දැනට ලෝකයේ ඉතිරි ව ඇත්තේ වකිටා සතුන්ගේ සම්පූර්ණ අස්ථි පද්ධති කිහිපයක් පමණක් වන බැවින්, එම දුර්ලභ භෞතික සාම්පලවලට හානි සිදු නොවී අන්තර්ජාලය හරහා පර්යේෂණ කිරීමට මෙමඟින් ලොව පුරා සිටින විද්‍යාඥයන්ට අවස්ථාව හිමි වනවා.
වර්තමානය වන විට වකිටා සතුන් ලොව පුරා ජීවත් වන්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් වන අතර, නවතම වාර්තා පෙන්වා දෙන්නේ උන්ගේ ගහනය සතුන් 7ත් 10ත් අතර ප්‍රමාණයකට සීමා වී ඇති බවයි. 1997 වසරේ දී 600ක් පමණ සිටි මෙම සතුන් මෙලෙස සීඝ්‍රයෙන් වඳවී යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කලාපය තුළ සිදුවන නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රියාවලියයි. විශේෂයෙන් ටොටෝවාබා නමැති මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා ධීවර දැල්වල මෙම කුඩා වකිටා සතුන් පැටලී මිය යාම උන්ගේ ගහනය අඩුවීමට සෘජු ව ම බලපා තිබෙනවා.
ෆ්ලොරිඩා ඇට්ලන්ටික් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනය Marine Mammal Science ජර්නලයේ ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම සියලු ඩිජිටල් දත්ත අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ජේමි ක්නාබ් පවසන පරිදි, මෙම ආකෘති භාවිතයෙන් කෞතුකාගාර සහ පන්තිකාමර සඳහා නිවැරැදි අනුරූ නිර්මාණය කළ හැකි අතර, එමඟින් මෙම දුර්ලභ සත්වයා පිළිබඳව ලෝක අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වනවා. ඇස් සහ මුඛය වටා ඇති අඳුරු සලකුණු මඟින් හඳුනාගත හැකි වකිටා සත්වයා, සාගර ක්ෂීරපායී පවුලේ කුඩා ම සාමාජිකයා ලෙස සැලකෙන අතර උන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු කිරීමට මෙම තාක්ෂණික මැදිහත්වීම ඉතා වැදගත් වනවා.