Home Science News ක්ෂීරපථ මන්දාකිනියේ හදවත යුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇසින්

ක්ෂීරපථ මන්දාකිනියේ හදවත යුක්ලිඩ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ඇසින්

by Sathya

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් Euclid අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගැනුණු අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථයේ මධ්‍යයේ මෙතෙක් ලබාගත් විශාලතම සහ පැහැදිලි ම ඡායාරූපය මේ වන විට මහජනයාට නිකුත් කර තිබෙනවා. දෘශ්‍ය ආලෝකයෙන් ලබාගත් මෙම ඡායාරූපයේ තරු මිලියන 60 කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, මෙය තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

2025 වසරේ මාර්තු 23 වන දින පැය 26 ක පමණ කාලයක් පුරා යුක්ලිඩ් දුරේක්ෂයේ ඇති දෘශ්‍ය-ආලෝක කැමරාව මගින් මෙම ඡායාරූපය ග්‍රහණය කරගෙන ඇති අතර, ප්‍රසිද්ධියට පත් කෙරුණේ 2026 ජුනි 24 දිනයි. මෙම දැවැන්ත ඡායාරූපය වෙන ම ලබාගත් ඡායාරූප කොටස් 9 ක එකතුවකින් නිර්මාණය කර ඇති අතර, එයින් සෑම කොටසක් ම අහසේ පුරහඳට වඩා විශාල ප්‍රදේශයක් ආවරණය කරනවා.

මෙම දත්ත හරහා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති බහිර් ග්‍රහලෝක (Exoplanets) සොයාගැනීමේ නව යුගයක් ආරම්භ වන බව තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේ දක්වා අප දන්නා බහිර් ග්‍රහලෝක සංඛ්‍යාව 6,000 ක් පමණ වන නමුත්, යුක්ලිඩ් දුරේක්ෂයේ මෙම නව තොරතුරු හරහා එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවනු ඇතැ යි ඔවුන් අපේක්ෂා කරනවා.

මෙමගින් තරු ඉතා පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි බැවින්, තරු ආලෝකයේ සිදුවන ඉතා කුඩා වෙනස්කම් සහ ඒවායේ චලනයන් නිරීක්ෂණය කිරීමෙන් නව ග්‍රහලෝකවල ස්කන්ධය සහ පැවැත්ම තහවුරු කර ගැනීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබෙනවා. දැනටමත් මෙම ඡායාරූපය තුළ කලින් හඳුනාගත් ග්‍රහලෝක පද්ධති 51 ක් අන්තර්ගත වන බව ද අනාවරණය වී තිබෙනවා.

ක්ෂීරපථයේ මධ්‍යය හෙවත් ‘Galactic bulge’ යනු පැරණි මෙන් ම අඩු උෂ්ණත්වයකින් යුත් තරු බිලියන ගණනකින් සමන්විත, තදින් ඇසිරුණු ප්‍රදේශයක්. එහි ඇත්තේ සාපේක්ෂ ව පැරැණි තරු බැවින් ඊට ළා කහ පැහැයක් ලැබී තිබෙනවා. තරු මිලියන ගණනකට අමතර ව, මෙම ඡායාරූපයේ අලෝකය අවශෝෂණය කරන අඳුරු දූවිලි වලාකුළු, නිහාරිකා සහ නව තරු බිහිවන ප්‍රදේශ ද ඉතා පැහැදිලි ව දැකගත හැකියි.

මූලික වශයෙන් යුක්ලිඩ් දුරේක්ෂයෙන් මෙම ඡායාරූපය කළු-සුදු පැහැයෙන් ලබාගෙන ඇති අතර, පසු ව හවායි දූපත්වල පිහිටි කැනඩා-ප්‍රංශ-හවායි දුරේක්ෂය (CFHT) මගින් ලබාගත් දත්ත ඇසුරෙන් එයට වර්ණ එකතු කර තිබෙනවා.

විශ්වයේ ඇති අභිරහස් අඳුරු පදාර්ථය සහ අඳුරු ශක්තිය අධ්‍යයනය කිරීම මූලික අරමුණ කරගනිමින් අභ්‍යවකාශගත කළ යුක්ලිඩ් දුරේක්ෂය, අපගේ ම මන්දාකිනියේ සැඟවුණු රහස් හෙළි කිරීමට ද අතිමහත් දායකත්වයක් සපයමින් සිටිනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications