Home Science News අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

by Sathya

2025 වසරේ දී දියත් කරන ලද Fram2 පෞද්ගලික Crew Dragon මෙහෙයුමට එක්වූ ගගනගාමීන් විසින් අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය එක්ස්-කිරණ ඡායාරූප පිළිබඳ තොරතුරු මේ වනවිට නිකුත් කර තිබෙනවා. මෙම සාර්ථක අත්හදා බැලීමත් සමඟ අනාගතයේ දී සඳ සහ අඟහරු වෙත ගමන් කරන ගගනගාමීන්ගේ සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සඳහා නවතම කුඩා ප්‍රමාණයේ එක්ස්-රේ යන්ත්‍රයක් භාවිත කිරීමේ හැකියාව තහවුරු වී තිබෙනවා. දශක හතරකට වැඩි කාලයක් පුරා අභ්‍යවකාශයේ දී වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කළ හැකි එකම ප්‍රායෝගික තාක්ෂණය වූයේ අල්ට්‍රාසවුන්ඩ් තාක්ෂණය පමණක් වූ අතර, මෙම නව සොයාගැනීම එම සීමාව ජයගැනීමක් ලෙස සැලකෙනවා.

Resilience යානය තුළ දී දින තුනහමාරක් පුරා මෙම අතිශය කුඩා සහ රැහැන් රහිත ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇත්තේ ඒ සඳහා පැය හතරක පමණ කෙටි පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු විසින්. එහි දී ඔවුන් තම ශරීරයේ කොටස් මෙන් ම ස්මාර්ට් ඔරලෝසු වැනි විවිධ උපකරණ ද එක්ස්-රේ පරීක්ෂාවට ලක් කර ඇති අතර, එම ඡායාරූප ඩිජිටල් තාක්ෂණයෙන් ගබඩා කර ක්ෂණික ව නිරීක්ෂණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබුණා. පෘථිවිය වෙත නැවත පැමිණීමෙන් අනතුරුව, ස්වාධීන වෛද්‍ය විශේෂඥයින් තිදෙනෙකු විසින් මෙම ඡායාරූප පෘථිවියේ දී ලබාගත් ඡායාරූප සමඟ සංසන්දනය කෙරුණා. එහි දී ඔවුන් තහවුරු කර ඇත්තේ අස්ථි බිඳීම් වැනි තුවාල හඳුනාගැනීමට අභ්‍යවකාශයේ දී ලබාගත් එම ඡායාරූප ප්‍රමාණවත් තරම් පැහැදිලි මට්ටමක පවතින බවයි. වඩාත් වැදගත් කරුණක් වන්නේ අභ්‍යවකාශ යානය නැවත පෘථිවියට පැමිණීමේ දී ඇති වූ කම්පනයන් හමුවේ වුව ද මෙම එක්ස්-රේ උපකරණයට කිසිදු බරපතළ හානියක් සිදු වී නො තිබීමයි.

Radiology ජර්නලයේ පළ කර ඇති මෙම අධ්‍යයනයේ ප්‍රධානියා වූ ආචාර්ය ෂෙයිනා ගිෆර්ඩ් පෙන්වා දෙන්නේ, මෙමඟින් අභ්‍යවකාශයේ දී කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම අභ්‍යවකාශ ඇඳුම් සහ ඉලෙක්ට්‍රොනික උපාංගවල ඇතිවිය හැකි සැඟවුණු දෝෂ නිරීක්ෂණය කිරීමේ හැකියාව ද තහවුරු වන බවයි. මෙම තාක්ෂණය අභ්‍යවකාශයට පමණක් නොව පෘථිවියේ ප්‍රධාන රෝහල්වලින් දුරස්ථ ව පිහිටි ග්‍රාමීය ප්‍රදේශවලට වඩාත් හොඳ වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා ද අනාගතයේ දී යොදාගත හැකි වනු ඇතැ යි විද්‍යාඥයන් අපේක්ෂා කරනවා. පෘථිවිය සමඟ පවතින සන්නිවේදනයට බාධා එල්ල විය හැකි ගැඹුරු අභ්‍යවකාශ චාරිකාවල දී කෘත්‍රිම බුද්ධියේ සහාය ඇති ව මෙම එක්ස්-රේ ඡායාරූප විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදයක් කෙරෙහි ද මේ වනවිට පර්යේෂකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications