පසුගිය දින කිහිපය පුරා ම දිවා කාලයේ ගොඩනැගිලි පවා නො පෙනී යන පරිදි කොළඹ අහස මිහිදුමකින් වෙළී ඇති විටෙක මෙන් නො පැහැදිලි දර්ශන තත්ත්වයක ගිලී පවතින බව දක්නට ලැබුණා.
මෙය එදිනෙදා අපට මුහුණ දෙන්නට සිදු වන සාමාන්‍ය මිහිදුම් තත්ත්වයක් නොවෙයි. වායුගෝලයේ පවතින දුහුවිලි අංශූන්ගේ ඉහළ යාමක්. ඉන්දියාව සහ අනෙකුත් අසල්වාසී ආසියාතික රටවලින් ගුවනට එක් වන වායු දූෂක දුහුවිලි අංශු සුළං ප්‍රවාහය මගින් ශ්‍රී ලංකාව වෙත රැගෙන එනු ලැබීම මෙයට හේතුව බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ. මෙය කොළඹ නගරයට පමණක් නොව සමස්ත දිවයිනේ ම ප්‍රදේශවලට පොදු කරුණක් බවයි ඔහු කියා සිටියේ. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ස්වසනාබාධ සහිත පුද්ගලයන්, ගර්භනී මාතාවන්, මෙන් ම වයස්ගත පුද්ගලයන් මේ දූෂිත වාතයට නිරාවරණය වීමෙන් වළකින්නේ නම් වඩාත් යහපත් බවයි.
කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන තත් කාල වායු ගුණාත්මකතා දර්ශකය මගින් ද මේ වායු දූෂණ තත්ත්වය සනාථ කර තිබුණා. ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට එහි අලුතෙන් ම යාවත්කාලීන කළ දත්තවලට අනුව කොළඹ අවට වායු ගුණාත්මකතා දර්ශකය (Air Quality Index) 174 ලෙස සටහන් වනවා. ඒ සෞඛ්‍යයට අහිතකර ලෙස හැඳින්වෙන ළා රතු පැහැය ද සමගයි. නුවර එළියේ AQI අගය 155ක් ලෙසත්, අකුරණ 167 ලෙසත් සටහන් වී තිබුණා. ඒවා ද පවතින්නේ සෞඛ්‍යයට අහිතකර සීමාවේයි.
සත්‍ය හෙට්ටිආරච්චි